කංසා ගැන ආණ්ඩුවේ නිවේදනය එනතුරු පොලිසිය ගත් තීරණය

කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරිම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසනවා.

කංසා බෝගය අපනයනය සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පසුගිය දා ඉදිරිපත් කළ අයවැය මඟින් යෝජනා කර තිබුණා.

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත වීමකින් පසු යම් නිර්දේශයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් නතර කිරිමේ හැකියාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පෙන්වාදෙනවා.

අපනයන යෝජනාවක් සිදුකර ඇති පසුබිමක මේ දිනවල සිදුකරන කංසා වගා වැටලීම් හා ගිනිතබා විනාශ කිරීම් සම්බන්ධව විවිධ පාර්ශව විමසීම් සිදුකරන බව එම කාර්යාංශය සඳහන් කරනවා.

එමෙන්ම අදාළ බෝගයේ අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කිරීමට යෝජිත විශේෂඥ කමිටුවක් හෝ ඒ පිළිබඳ නිල නියෝගයන් ප්‍රකාශයට පත් වී නොමැති වුව ද මේ පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ ඔස්සේ සංසරණය වන බවට ද වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ වාර්තා මුළුමනින්ම සාවද්‍ය වන අතර වැටලීම් ක්‍රියාවලිය මන්දගාමී කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පැවසුවේය.

මේ වන විට මෙරට මහ පරිමාණ නීතිවිරෝධි කංසා වගාවන් වැටලීම් බහුලව සිදුකරනු ලබන්නේ පානදුර කොට්ඨාස මධ්‍යම දුෂණ මර්දන ඒකකයෙන් වන අතර “අද දෙරණ” මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීමක් කළේය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මහා පරිමාණ කංසා වගාවන් වැටලීම් සම්බන්ධයෙන් සිය ඒකකය විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති පසුබිමක නිල ප්‍රකාශයක් නිකුත් කරන තුරු සිදුකරන වැටලීම් නැවැත්වීමට පියවර නොගන්නා බවය.

කංසා බෝගය අපනයනය සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අයවැය මඟින් යෝජනා කළ දිනයේ ද අක්කර දෙකකට ආසන්න නීතිවිරෝධි කංසා වගාවක් විනාශ කළ බව පානදුර කොට්ඨාස මධ්‍යම දුෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *