උස්සන්ගොඩින් මුහුදට පැන්න බෙල්ල දිග ලොකු සතා !

දිනෙන් දින ලෝකය පුරා සිදුවෙන අමුතු සිදුවීම් පිළිබද පුවත් අප ඕනෑ තරම් අසා තිබේ.එලෙස සිදුවන ඇතැම් සිද්ධින් යමෙකුට විස්තර කිරිම පවා ඉතා අපහසු වන අතර ඒවා විශ්වාස කිරිම පවා අපහසු තරම් ඒවාය.

අද අප කියන්නට යන්නේද යමෙකුට කියූ සැණින් පිළිගත නොහැකි වුවත් අවිවාදයෙන් යුතුව හෝ පිළිගත යුතු ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වු තවත් එවැනි සිදුවිමක් පිළිබද වු පුවතකි.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තංගල්ල කතරගම ප්‍රධාන මාර්ගයේ නෝනාගම හන්දියට සමීපව පිහිටා තිබේ. නෝනාගම හන්දිය අසල සිට මීටර් 600 ක පමන දුරක් ගිය විට හමුවෙන මෙම උද්‍යානයේ පසුගිය දින (11) සිදු වු අරුම පුදුම සිදුවිමක් පිළිබද පුවත් අපට වාර්තා වීය.

සූරියවැව පදිංචි ඉංදික සමන්ත මහතා හා තවත් යහළුවන් කිහිප දෙනෙකු පසුගිය 11 වන දින උස්සන්ගොඩ ජාතික උද්‍යානය නැරඹීමට ගොස් තිබුණි.එහිදි ඔවුන්ට අත්විදිමට සිදු වූ මේ අපූරු පුවත පිළිබද ඔහු අපට මෙලෙස විස්තර කලේය.

“මම තවත් යාළුවන් කිහිප දෙනෙකු එක්ක උස්සන්ගොඩ ගියා.සාමාන්‍යෙයන් මම නිවාඩුවක් ලැබුණම නිතරම වගේ විවිධ ස්ථානවල ඇවිදින්න යනවා.ඉතින් 11 වෙනිදත් ඒ විදියටම අස්සන්ගොඩ ගියා.මිට පෙරත් මන් අවස්ථා කිහිපයකදීම උස්සන්ගොඩ ගිහින් තියෙනවා.මම යාළුවොත් එක්ක මුහුද කිට්ටුවට වෙන්න බිම වාඩි වෙලා හිටියා.ඉතින් එහෙම ඉද්දී මට දුරකතන ඇමතුමක් ඇවිත් මං පිරිස ඉන්න තැනින් නැගිටලා වෙන පැත්තකට ගියා.ඒ ගිහින් කෝල් එක ඉවරවෙලා මුහුදට පිටුපාලා මන් ආයෙත් එන්න එනකොට මුහුද පැත්තෙන් එක සැරේම මහා ශබ්දයක් ඇහුණා.මම එක සැරේම හැරිලා බලනකොට මට පුදුම හිතුණා.බෙල්ල උස මහා සතෙක් වතුරේ ඉදන් ගොඩට එනවා.මගේ ජිවිතයේ මං කවදාවත් එච්චර බයවෙලා නෑ.මට කෑ ගහගන්නවත් බැරි වුණා.දුවගන්නත් මට සිහියක් නෑ.හැබැයි කොහොම හරි මන් යාළුවෝ ඉන්න පැත්තට ඇවිත් ඒ අයට අතින් පෙන්නුවා අන්න බලන්න මොකෙද්ද එනවා කියලා.බිම වාඩි වෙලා හිටිය යාළුවෝ ටිකත් නැගිටලා ඒ පැත්තට දුවගෙන ගියා මොකද්ද වුණේ කියලා බලන්න.එතකොට අර ගොඩට ආව මොකෙද්දෝ ඩයිනෝසිරස් වගේ බෙල්ල උස සතෙක් ආයෙත් මුහුදට පැනලා නොපෙනී ගියා. ඇත්තටම ඒ වෙලාවේ මට ඇස් අදහා ගන්න බැරි වුණා මොකද්ද ඒ වෙලාවේ ඒ වුණේ කියාලා.අපි බැදපු මාළු වගයක් තමයි හවස මේ වෙද්දී කකා හිටියේ.අපි මේ සිද්ධිය ඒ වෙලාවේ අපිට ටිකක් එහායින් හිටිය වයසක මාම කෙනෙකුටත් කිවුවා.එයා නම් කිව්වා පුතාලා පුලුටු කකා හිටිය නිසා මොකක් හරි හොල්මනක් අවතාරයක් එන්න ඇති.මේ වෙලාවට එළි මහනේ තියාගෙන පුලුටු ජාති කන්න හොද නෑ කිව්වා.මං මගේ ජිවිතයේ කවදාවත් එවැනි සතෙක් දැකලා නම් නෑ යැයි ඉංදික සමන්ත මහතා පැවසීය.

යූ.එම්.බංඩාර මහතා.

මම පසුගිය 11 දින යාළුවෙක් එක්ක උස්සන්ගොඩ ගියා.ඒ ගිහින් අපි බිම වාඩි වෙලා අරන් ගිය මාළු වගයක් එහෙම කකා හිටියා.ඒ වෙලාවේ ඉංදික මල්ලි කෝල් එකක් ඇවිත් පැත්තකට ගියා.ඒ වෙලාවේ එක සැරේම ඉංදික මල්ලී බය වෙලා වගේ දුවගෙන ආවා.අපි මොකද බන් කියලා අහනකොට එයා අතින් අපිට මොකද්දෝ පෙන්නුවා.අපිත් ඒ පැත්තට දුවගෙන ගියා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.ඒ වෙලාවේ මට ඇස් අදහා ගන්න බැරි වුණා දැකපු දේට. මහා උස සතෙක් හරියට ඩයිනෝසිරස් කෙනෙක් වගේ එකෙක් මුහුදට පැනලා නොපෙනී ගියා.මං මගේ ජීවිතේ කවදාවත් එවැනි සිදුවිමක් දැකලා නෑ.ලෝකවේ මේ වගේ විවිධ අරුම පුදුම දේවල් ගැන අපි කොච්චරවත් අහලා තියෙනවා.නමුත් කවදාවත් දැකලා තිබුණේ නෑ.අපේ සියලා අපිට කියලා තියෙනවා ගොම්මන් යාමේ පුලුටු කණකොට හොල්මන් අවතාර එනවා කියලා.මේ දැකපු දේ මට හොල්මනක්ද කියලත් හිතුණා.කොහොම නමුත් වචනයෙන් කියලා විස්තර කරන්න නම් මට තේරෙන්නේ නෑ මේක.ගෙදර ඇවිත් මන් මේක කිවුවම ඒ අය ඇහුවා අපරාදේ විඩියෝ කරගන්න තිබුණනේ කිව්වා.ඒ වෙලාවේ අපිට දැනුනු බයත් එක්ක විඩියෝ කරන්න තියා හරියට අපිට සිහියක්වත් තිබුණේ නෑ යැයි පැවසිය.

මෙම සිදුවිමට මුහුන පෑ අය විනා අප මේ කතාව විශ්වාස කිරිමට තරමක් මැළි කමක් දක්වනු නොඅනුමානය.අපේ මතය කුමක් වුවත් සිදුවිම පිටු පස කුමක් හෝ යමක් සිදුව ඇති බව නම් පැහැදිලිය.මන්ද එවැනි සිදුවීම් ඕනැ තරම් ලොව වටින් මීට පෙරද අපට අසන්නට ලැබි තිබිම නිසාය.අනික මෙම සිදුවිම සිදුවු උස්සන්ගොඩ ජාතික උද්්‍යානයද විශේෂිත වු ස්ථානයක් බවද සිහිපත් කළ යුතුමය.ඒ නිසාම මොවුන් දුටු දේ එකවරම අපට බැහැර කිරිමටද නොහැකිය.

මෙම ස්ථානයේ රතු පැහැති පාෂාණ විශේෂයක් පැතිරී තිබෙන අතර අද වන විට පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයකි. එක් පැත්තකින් තංගල්ල කතරගම මාර්ගයට හා බටහිරින් ලුනම, කළමැටිය අභයභූමියේ ලුනම කලපුවට සීමා වේ. නැඟෙනහිර ප්‍රදේශයෙන් වැලිපටන්විල ග්‍රාම නිලධාරී කොට්ඨාසයටත්, උතුරින් පුංචි උස්‌සන්ගොඩටත් සීමාවන අතර, දකුණින් මුහුදට මායිම්ව පිහිටා තිබේ.

මෙම භූමි ප්‍රදේශය තුළ ශාඛ වර්ග නොවැඩෙන අතර රතු පැහැයට හුරු පස් විශේෂයක් දක්නට ලැබෙනවා. අක්කර ගණනාවක් පුරා ම පැතිර තිබෙන මෙම රතු පැහැති පස් අතින් ඇල්ලු විට අතෙහි ද එම පාෂාණවල වර්ණය තැවරීම විශේෂත්වයකි. උල්කාපාතයක් කඩා වැටීම නිසා මේ ආකාරයට මෙම භූමිය නිර්මාණය වන්නට ඇත යන්න මේ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

මේ පස් මත උණු වූ යකඩ මෙන් කළු පැහැයට සමාන පස් විශේෂයන් ද සමහර තැන්වල දැකීමට පුළුවන්කම ලැබේ. ඒවා ලාවා වැනි ස්වභාවයකින් යුක්ත බවයි සමහරු පවසන්නෙ. උල්කාපාතයක් කඩා වැටී උස් වූ ගොඩ පසුකාලීනව උස්සන්ගොඩ වූ බව ගම්මුන්ගේ පවතින මතයි.

මේ පසේ, අධික වශයෙන් ලෝහ සාන්ද්‍රණය පවතින බැවින්, ගස් වැල් හට ගන්නේ නැති බව පැවසෙන අතර රතු පස් පිහිටි පෙදෙස තුළ ශාක වැවෙන්නේ ඉතාමත් කලාතුරකින් තැනකයි. සමහර තැන්වල ඉතා කුඩා තෘණ විශේෂයක් වැවී තිබේ. ඊට අමතරව එම භූමියේ තැන් කීපයකම කරඹ, පතොක්, එරමිණියා වැනි වියලි තත්වයේ පොළොව මත වැවෙන ශාඛයන් වැවී තිබෙනු දක්නට පුළුවන්. වැඩිපුර ඇත්තේ ශාක නොමැති පස්‌ වලින් පමනක් සෑදුණු පරිසරයක්.

පසුගිය 2010 වසරේ මැයි 06 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙහි බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 349.077කි. ශ්‍රී ලංකාවේ පිහිට වූ 21 වැනි ජාතික උද්‍යානය වන්නේ ද උස්සන්ගොඩ ය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති තුන් වැනි ජාතික උද්‍යානය ලෙස ද මෙය හදුන්වාදිය හැකි අතර ජෛවවිවිධත්වයෙන් අනූන පෙදෙසක් ලෙස, ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය මඟින් මෙම ස්ථානය නම් කර ඇත.

(සූරියවැව විශේෂ – නුවන් ජයසේකර – දිනමිණ;)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *