ජනපති රනිල්ගෙන් සමාව ඉල්ලයි

තමා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වුයේ රටේ ඇතිව තිබෙන උග්‍ර ගැටලුවලට විසඳුමක් සොයා ගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ. මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත් … මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු.”

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ට මෙලෙස පැවසීය.

“ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *