ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ ‘අලුත්ම චිත්‍රපටය’ දැන් ලෝකයම නරඹන හැටි

‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටය ගෙතෙන්නේ, 2018 ‘ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයෙන් සිවු වසරකට පසු ඩයිනසෝරයන්, මනුෂ්‍යයන් ද සමඟ එකට පෘථිවියේ ජීවත්වීම පාදක කර ගනිමිනි. මනුෂ්‍යයන්ටත්, ඩයිනසෝරයන්ටත් එකට මිහිමත වාසය කළ හැකිද යන්න ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ හරහා විමසා බැලෙයි. චිත්‍රපටයට එක්වන පැරැණි චරිත ත්‍රිත්වය ආචාර්ය ඇලන් ග්‍රාන්ට්, ආචාර්ය එලී සැට්ලර් සහ ආචාර්ය ඉයන් මැල්කම්, නව පරම්පරාවේ චරිත වන ඕවන් සහ ක්ලෙයාර් හා සම්බන්ධ වන්නේ චිත්‍රපටයේ කතා දෙකකිනි.

අතීතයේ ඩයිනසෝර අවදියේ ජීවත් වූ යෝධ පළගැටියන් රංචු රටරටවල වගාබිම් විනාශ කරයි. ආහාර අර්බුදයක අවදානමක් හට ගනී. වගා හානි කරන පළගැටියන් ගැන සොයන එලී සැට්ලර්, ඇලන් ග්‍රාන්ට් හමුවී ඔහුගේ උදව් ඉල්ලයි. ඉයන් මැක්ලම් ද ඔවුන්ට එක් වෙයි. පළගැටියන් පසුපස සිටින්නේ ලුවිස් ඩොග්සන් නමැති බිලියනපතියා සහ ඔහුගේ ‘බයෝසින්’ සමාගමය. ලුවිස් ඩොග්සන්ගේ චරිතයට පණ පොවන්නේ ස්කොට් කැම්බල් ය. පළමු ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ ජාන තාක්ෂණයෙන් ඩයිනසෝරයන් බිහි කළ විද්‍යාඥ හෙන්රි වූ ද ස්කොට් කැම්බල් යටතේ සිටී. 2015 තිරගත වුණු ‘ජුරාසික් වර්ල්ඩ්’ සහ 2018 තිරගත වුණු ‘ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයේත් හෙන්රි වූ දකින්න ලැබුණි. මුල්ම ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටය සහ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට එකිනෙක යා කරන තවත් චරිතයක් වන්නේ ද විද්‍යාඥ හෙන්රි වූ ය.

 

2018 ‘ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්’ චිත්‍රපටයෙන් හදුන්වා දුන් ක්ලෝනකරණයෙන් නිපදවූ දැරිය මෙසී ලොක්ඩුව්, ඕවල් සහ ක්ලෙයාර් සමඟ රහසේ ජීවත් වෙයි. මෙසීගේ රචිතයට පණ දෙන්නේ නවක ළමා නිළියක වන ඉසබෙලා සර්මන්ය. ඕවන්ගේ පමණක් නොව, ‘ජුරාසික් වර්ල්ඩ්’ නරඹන්නන්ගේ ද ප්‍රියතම රැප්ටරයා වන බ්ලූ ට පුංචි පැටවකු සිටී. (මෙසී මෙම පැටවා නම් කරන්නේ බේටා යන නමිනි)

ඩොග්සන්ගේ ‘බයෝසින්’ සමාගම මැදිහත් වී, නිදැල්ලේ හැසිරෙන ඩයිනසෝරයන් වෙනුවෙන් ඉතාලියේ ඩොලමයිට්ස් කඳුකරයේ වනෝද්‍යානයක් නිර්මාණය කර තිබේ. රටවලින් අල්ලා ගන්නා ඩයිනසෝරයන් මෙම වනෝද්‍යානයට රැගෙන ඒම සිදුවෙයි. බිහිසුණු මෙන්ම නපුරු, මීට පෙර ‘ජුරාසික් පාර්ක්’ සහ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටවල දකින්න නොලැබුණු ඩයිනසෝරයන් ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ දකින්න ලැබේ. ලොව ජීවත් වූ විශාලතම මාංශභක්ෂකයා ලෙස සැලකෙන ජයිගැනොටෝසෝරස්, අමුතු බිහිසුණු පෙනුමක් ඇති පිහිටා පිරුණු තෙරිසිනෝසෝරස් සහ පයිරෝ රැප්ටර් ඒ අතරින් කැපී පෙනෙයි. ඊට අමතරව 1993 ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයේ දකින්න ලැබුණු විස කෙළ විදින ඩිලොපසෝරස් ඩයිනසොරයන් ද තවත් අමුතු ඩයිනසෝරයන් රැසක් ද ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයෙන් දකින්න ලැබේ.


ඕවන් සහ ක්ලෙයාර්, මෝල්ටාවේ දී නපුරු රැප්ටරයන්ගෙන් බේරීමට කරන වික්‍රමය, ගුවන් යානයට එල්ල වන ප්‍රහාරයෙන් පසු ක්ලෙයාර්, තෙරිසිනෝසෝරස්ගෙන් ද ඕවන් සහ චිත්‍රපටයට එක් වන නව චරිතය කේලා (නිළි ඩී වොන්ඩා වයිස්) අයිස් තට්ටු යටින් පිහිනන පයිරෝ රැප්ටරයාගෙන් බේරීම චිත්‍රපටයේ ත්‍රාසජනක සිදුවීම් ලෙස සැලකිය හැකිය.

ලුවිස් ඩොග්සන් ප්‍රමුඛ ‘බයෝසින්’ සමාගමේ නපුරන් මෙසී සහ බ්ලූගේ පැටියා ‘බේටා’ ඔවුන්ගේ ‘බයෝසින්’ මුලස්ථානයට ගෙනෙන අතර, ඕවන් සහ ක්ලෙයාර් ඇය සොයා වික්‍රමයක යෙදෙයි. ඕවන් සහ ක්ලෙයාර් ට ඇලන් ග්‍රාන්ට්, එලී සැට්ලර් සහ ඉයන් මැල්කම් හමුවන්නේ ඒ අනුවය.

1993 වසරේ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටය බටහිර සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකෙයි. ඒ, පරිගණක තාක්ෂණය නොදියුණු යුගයක, පරිගණක ප්‍රයෝග මෙන්ම රොබෝ ඩයිනසෝරයන් ද යොදා ගනිමින් ‘ජුරාසික් පාර්ක්’ නිර්මාණය වූ බැවිනි.

‘ජුරාසික් පාර්ක්’ සිනමාලෝලීන්ගේත් සිනමා චිරාකයන්ගේත් පැසැසුමට ලක්විය. 2015 දී කොලින් ට්‍රෙවෙරෝව් අධ්‍යක්ෂණය කළ ‘ජුරාසික් වර්ල්ඩ්’ ද නරඹන්න්ට අලුත් අත්දැකීමක් විය. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ චිත්‍රපටයේ ඇති එකම ‘නැවුම්’ දේ සෑම් නීල්, ලෝරා ඩර්න් සහ ජෙෆ් ගෝල්ඩ්බ්ලම් ඔවුන්ගේ පැරැණි චරිත යළි ප්‍රති නිර්මාණය කිරීම සහ අලුත් මාදිලියේ නපුරු ඩයිනසෝරයන් සිටීමය.

 

‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ සම්බන්ධයෙන් මේ වනවිට හොඳ මෙන්ම නරක කියන විචාරකයෝ ද වෙති. දැවැන්ත ඩයිනසෝරයන් පොර පදමින් එකිනෙකා බඳිමින් සටන් කිරීම ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ තුළින් ද දකින්න ලැබේ. ප්‍රධාන නළු නිළි කැළ ඩයිනසෝරයන්ට මැදි වෙයි. උන්ගෙන් බේරී දිවි ගලවා ගනී. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ පුරා මෙවැනි දසුන් දකින්න ලැබේ.

 

‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ සර්ව සම්පූර්ණ චිත්‍රපටයක් නොවෙයි; 1993 වසරේ තිරගත වුණු පළමු ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයට හෝ 2015 වසරේ තිරගත වුණු පළමු ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයට හෝ සමාන කළ නොහැක. කෙසේ නමුත් ඩයිනසෝරයන් සමඏ වික්‍රම නැරැඹීමට සිනමාහලට යන ඔබට ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ අපූරු අත්දැකීමක් වනු නිසැකය. මිනිත්තු 146 ක ධාවන කාලයකින් යුත් ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්’ මේ වනවිටත් බොක්ස් ඔෆිස් වාර්තා ළං වෙමින් පවතී. ‘ජුරාසික් වර්ල්ඩ්‘ සහ ‘ජුරාසික් පාර්ක්’ සිනමා ලෝලීන්ට නම් මෙය පරණ මතකයන් අලුත් කර ගැනීමට හැකි සිනමාපටයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *