ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ, සංගීත් නිපුන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (28) උදෑසන ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1942 පෙබරවාරි 15 වන දින උපත ලද සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වන වියේ පසුවුණි.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සන්නාමයක් බවට පත් වූ මහාචාර්ය සනත් නන්දසිරි මහතා මිය යන විට සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේය.

ගායනයෙන්, වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගීත රචනයෙන් ද ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබීමට ඒ මහතා සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කරනු ලැබීය.

මෙරට පමණක් නොව විදෙස් රටවලදී ද සංගීතය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇති සනත් නන්දසිරි මහතා “සංගීත් නිපුන්” යන ගෞරව නාමය ද හිමිකරගෙන තිබේ.

බෝ මළුවේ මල් සුවදක පැටලී, බුදු හාමුදුරුවො වැඩියා වාගේ වැනි බෞද්ධ ගීත මෙන්ම ඔබේ සුවඳ පිරිණු පුංචි කාමරේ, මුළු ලොව මගෙන් අසාවී, මේ ප්‍රථම වසන්තයයි වැනි ප්‍රේමණීය ගීත රැසක් ගායනා කරමින් සනත් නන්දසිරි මහතා රසික හදවත් අමන්දානන්දයට පත් කිරීමට සමත් වුණි.

ඔහු විසින් ගායනා කළ ගීත අතර “එදා මෙදා තුර කඳුලට විවර වු” ගීතය රසික හදවත් තුළ නිරන්තරයෙන් මතකයට නැගෙන ගීතයක් බවට පත් වීම ද විශේෂත්වයකි.

මේ අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *