ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයෙන් බ්‍රිතාන්‍යය කැලඹෙයි

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වැඩිම උණුසුම වාර්තා කරමින් පසුගිය අඟහරුවාදා සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් පැතිරීම හේතුවෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රදේශ රැසක ළැව්ගිනි හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ ළැව්ගිනිවලට හසු වූ ප්‍රදේශවල නිවාස රැසක් ගින්නට හසු වී දැවී අළු වී ඇතැයි ද වාර්තා වේ.

පවතින තත්ත්වය මත ලන්ඩන් නුවර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය තීරණාත්මක අවස්ථාවක් බව ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් නිවේදනය කර තිබේ.

ලන්ඩන් නුවර ප්‍රදේශ 10ක පමණ ළැව් ගිනි හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන රථ දුසිම් ගණනාවක් සහ ගිනි නිවන භටයන් සිය ගණනක් මෙහෙයුම් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලන්ඩනයේ නිවාස සහ ගොඩනැගිලි හරහා පැතිරී ඇති ළැව්ගිනි මැඩපැවැත්වීමට කටයුතු කරන ගිනි නිවන භටයින්, නිවැසියන් ඉවත් කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

ළැව්ගිනි හා අධික උෂ්ණත්වය මත ප්‍රසිද්ධ උද්‍යාන සහ පෞද්ගලික උද්‍යානවල මෙන්ම නිවාස මිදුලේ සහ බැල්කනිවල ද ඇතුළුව ලන්ඩනයේ කිසිදු ස්ථානයක ගිනි උදුන් දල්වා බාබකියු සිදුනොකළ යුතු බවට ලන්ඩන් නගරාධිපති නිවේදනය කර ඇත.

ළැව්ගිනි හේතුවෙන් ලන්ඩන් නුවර සිට නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවලට ගමන් කරන සියලු දුම්රිය අවලංගු කර ඇති අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු බස් රථ ධාවනය ද සීමා කර ඇතැයි වාර්තා වේ. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගිනි නිවන හමුදාව වඩාත්ම අවිවේකී කළ දින කිහිපය මෙය බව ලන්ඩන් නුවර නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *