නීති කඩන මුස්ලිම් යුවතියෝ

මුස්ලිම් කතක්; තරුණියක් පිළිබඳ කතා කරන විට අප බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ හිජාබයෙන් හිස වසාගත්, බුර්කාවෙන් ගත වසාගත් කාන්තා රූපයකි. සත්‍ය වශ‍යෙන් ම බුර්කාවෙන් ගත වසාගත් පමණින් තරුණියක; කාන්තාවක වශයෙන් ඇයට ලැබිය යුතු ආරක්ෂාව කෙසේ වුවත් ගෞරවය හිමි වන්නේ ද යන්න යළි යළිත් සිතා බැලිය යුතු කරුණකි.

අනෙක් අතට ශ්‍රී ලංකාව ඇතුළු ව බහුතරයක් ආසියාතික රටවල දක්නට ලැබෙන සාම්ප්‍රදායික මුස්ලිම් කත බටහිර සමාජයෙත් ඒ ආකාරයට ම දක්නට ලැබීම ද අද වන විට විරල දසුනක් බවට පත් ව ඇත. අතීතයේ සිට ම මුස්ලිම් ජාතික කාන්තාවන් තමා වටා බැඳි සීමා පසුකර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට ගමන් කර ඇති බව අතීතය දෙස යළිත් වරක් හැරී බැලීමේ දී පසක් වන කරුණකි.

විශේෂයෙන් ම, කයිරෝ විශ්වවිද්‍යාලයෙන් පරමාණුක විකිරණ පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කරගත් ප්‍රථම කාන්තාව මෙන් ම ඊජිප්තුවේ ප්‍රථම න්‍යෂ්ටික විද්‍යාඥවරිය (1917-1952) වන සමීරා මෞසා, එංගලන්තයේ කාන්තා සහායක ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් විධායකයේ ප්‍රථම ගුවන් විදුලි ක්‍රියාකරවන්නිය බවට පත් වූ නූර් ඉනායත් ඛාන් (1914-1944), ඉරාකයේ උපත ලබා, බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ගෘහ නිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයේ අද්විතීය වෙනසක් සිදු කළ සාහා හැඩිඩ් (1950-2016) වැනි ශක්තිමත් කාන්තා පෞරුෂ මුස්ලිම් සමාජය තුළින් නිර්මාණය වූ අපූරු නිර්මාණ ලෙස පෙන්වා දීමට හැකි ය.

සමස්තයක් වශයෙන් ගත් කළ වර්තමාන ලෝකය තුළ කාන්තාවන්ට පෙරට වඩා නිදහසක්, ස්වාධීනත්වයක් හිමි ව ඇති බව පෙනෙන්නට තිබෙන්නාක් මෙන් මුස්ලිම් කාන්තාවන්හට ද ස්වාධීන ව කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බව දක්නට ලැබේ. මේ නිසා බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන ඇතැම් රටවල පවා කාන්තාවන්ට, කාන්තාවකගේ ගරුත්වය රැකෙන පරිදි තම අභිමතයන්ට අනුකූල ව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස හිමි ව ඇති බව දක්නට ලැබේ.

විශේෂයෙන් ම, මුස්ලිම් ජාතික තරුණියන්ට උරුම ව තිබූ බාල වයස් විවාහ, අධ්‍යාපන සීමා, කුඩා වයසේ දී ම දරුවන් හදාවඩා ගැනීමට සිදු වීම, විලාසිතා සීමා වීම්, සෞන්දර්යාත්මක කටයුතු, කලා කටයුතු ආදියෙන් ඈත් ව සිටීමට සිදු වීම වැනි පීඩාකාරී බාධක වර්තමානය වන විට මුස්ලිම් සමාජයෙන් බොහෝ දුරට ගිලිහී ගොස් ඇති බව පැහැදිලි කරුණකි. බටහිර සමාජය සහ ඇතැම් මුස්ලිම් ජාතික රටවල් දෙස බැලීමේදී මේ සම්බන්ධ නිදසුන් ගණනාවක් සොයා ගැනීමට හැකියාවක් ඇත්තේ ය.

බහුතර මුස්ලිම් ජනගහනයක් වෙසෙන මැද පෙරදිග රටක් වන තුර්කියේ ජීවත් වන එලිෆ් ෂර්ෆාර්ක් එලෙස මුස්ලිම් කාන්තාව වටා බැඳී ඇති වැට කඩුලු‍ බිඳ දමා ඉදිරියට පැමිණි අතිදක්ෂ ලේඛිකාවකි. ඇගේ නිර්මාණ සඳහා මැද පෙරදිග පමණක් නොව බටහිර පාඨකයන් ද දැඩි ලෙස ඇලු‍ම් කරන බව ඇය විසින් දේශීයව මෙන් ම විදේශීයව ද දිනා ඇති සම්මාන දෙස බැලීමේදී පසක් වේ.

මුස්ලිම් කාන්තාවන්ට දැඩි වාරණ පැනවෙන ක්ෂේත්‍රයක් වන නිරූපණ ක්ෂේත්‍රය අතික්‍රමණය කිරීමට ද අද වන විට මුස්ලිම් තරුණිය සමත් ව තිබීම සතුටු විය හැකි කරුණකි. හිජාබිය පැලඳි ලොව පළමු නිරූපිකාව වන මරියා ඉද්‍රිස්සි ද මුස්ලිම් ජාතික තරුණියකි. ස්වීඩනයේ H & M නම් දැවැන්ත රෙදිපිළි සමාගමේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන මරියාහ් සෙසු මුස්ලිම් ජාතික තරුණියන්ට සාම්ප්‍රදායික බුර්කාවෙන් බැහැර ව නවීන විලාසිතා අනුගමනය කිරීමට අනුබල ලබාදෙන තවත් මුස්ලිම් තරුණියකි. විද්‍යුත් වාණිජ්‍ය විලාසිතා සන්නාමයක් වන Fashion Valet සන්නාමය 2010 වසරේ දී නිර්මාණය කළ සම නිර්මාතෘවරියක වන, මැලේසියාවේ විලාසිතා ක්ෂේත්‍රයේ රැජින වැනි විවි යූසුෆ් ද මුස්ලිම් ජාතික තරුණ ව්‍යවසායිකාවකි.

සෞන්දර්යාත්මක කටයුතුවල නිරත වීමට මුස්ලිම් කාන්තාවන්ට ඇති සීමා මඟහැර අතිශය ජනාදරයට පත් ගායිකාවක් වීමට මැලේසියාවේ වෙසෙන යුනාට ද හැකි ව තිබේ. නීතිඥවරියක වීමට ඉගෙනගත් ඈ පසුව එම වෘත්තීය හැර දමා පූර්ණකාලීන ගායිකාවක වී ඇත්තේ ද තම අභිමතය පරිදි ය. ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පිළිබඳ ව කුඩා කල සිට ම අභීත ව හඬ නැඟූ, මලාලා යූසුෆ් සායි ද පාකිස්ථානයේ වාසය කරන මුස්ලිම් තරුණියකි. සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැපකරන මලාලා 2014 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමිකරගන්නා ලද්දේ එය හිමිකරගත් ලාබාලතම පුද්ගලයා බවට ද පත්වෙමිනි.

වර්තමාන ලෝකය දෙස බැලීමේ දී මේ ආකාරයේ නිදසුන් ගණනාවක් සොයාගැනීම අපහසු කටයුත්තක් නොවේ. විශේෂ‍යෙන් ම මුස්ලිම් ජනගහනය බහුල තුර්කිය, මැලේසියාව වැනි රටවල පවා අද වන විට මුස්ලිම් තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම, නිසි වයසට පෙර විවාහ කටයුතු සඳහා බල නොකිරීම, ගැළපෙන විවාහ සිදු කරගැනීමට නිදහස ලබාදීම ආදී වරප්‍රසාද ලබාදීමට තරම් නම්‍යශීලීත්වයක් දක්නට ලැබේ.

ඒ කෙසේ වුවත්, මෙම තත්ත්වය මේ අයුරින් ම ශ්‍රී ලංකාව තුළ ද තිබේ ද යන්න නම් මඳක් සැක සහිත ය. වර්තමානය වන විට යම්තාක් නිදහසක් මුස්ලිම් තරුණිය වෙත හිමි ව තිබුණ ද එය ප්‍රමාණාත්මක නිදහසක් දැයි නැවත වරක් සිතා බැලිය යුතු ය.

සත්‍ය වශයෙන් ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ තරුණියට පෙරට වඩා උසස් අධ්‍යාපනය ලැබීමට වැඩි අවස්ථාවක් උදා වී තිබුණ ද, මිත්‍යා මත වටා බැඳී පවතින, කලා කටයුතුවල නිරත වීම, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම, දේශපාලනයට අවතීර්ණ වීම වැනි දෑ තවමත් ඇත්තේ වාරණ කිරීම් යටතේ ය. බහුතර මුස්ලිම් ජනකායක් සිටින රටවල පවා හිමි නිදහස ශ්‍රී ලාංකීය මුස්ලිම් තරුණියට; කාන්තාවට හිමි නොවන්නේ මන් ද? මේ සඳහා මූලිකව ම බලපාන හේතුවක් වන්නේ, වැඩිහිටි සමාජය විසින් දරනු ලබන ආකල්ප සහ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමයි.

වඩාත් කල්පනාකාරී ව ශ්‍රී ලාංකීය සමාජය දෙස අවධානය යොමු කළහොත්, සාපේක්ෂ ව ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත, ලෝකය සමඟ යාවත්කාලීන වන දෙමවුපියන්, වැඩිහිටියෝ පෙර මෙන් තම අභිමතය අනුව මුස්ලිම් තරුණියගේ නිදහස අහුරා දැමීමට ප්‍රයත්න නොදරති නමුත්, මොහොතින් මොහොත යාවත්කාලීන වන ලොව තුළ යල්පැන ගිය මිත්‍යා විශ්වාස මත පමණක් රඳා පැවතෙමින් වෙනස් වීම් කෙරෙහි අනුගත නොවී අතීතයේ ජීවත් වන පුද්ගලයන්ගේ වැරදි ආකල්ප මෙන් ම අඩු අධ්‍යාපන මට්ටම් සහිත වැඩිහිටියන්ගේ පීඩාකාරී බලපෑම් ද ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන්ගෙන් බහුතරය තවමත් රාමුවකට සිර වී සිටීමට හේතු කාරණා වී ඇත.

මනුෂ්‍යයකු වශයෙන් නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය; තමා පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය හෝ මෙම තරුණියන්ට හිමි නොවීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන රටක කොතෙක් දුරට සාධාරණීයකරණය කළ හැකි ද යන්න නැවත වරක් සිතා බැලිය යුතු නොවේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *