තමිල්නාඩු රජය බෝට්ටුවෙන් ගෙනත් ජනතාවට කන්න දෙන්න හදයි

ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මධ්‍යම රජයෙන් අවසර ලබාගැනීමේ යෝජනාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් විසින් තමිල්නාඩු ව්‍යවස්ථාධායක සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉන්දීය රුපියල් කෝටි 80ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොගයක් සහ රුපියල් කෝටි 15ක් වටිනා කුඩා ළමුන් සඳහා වන කිරිපිටි ටොන් 500ක් ශ්‍රී ලංකාවට එවීමට තමිල්නාඩු රජය සැලසුම් කර ඇත.

අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට එවීම සඳහා මධ්‍යම රජයේ අවසරය අවශ්‍ය බැවින් ඊට අවසර ලැබුණු පසු ඒවා බෝට්ටු මගින් එවීම සඳහා සැලසුම් කර ඇති බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් රාමේෂ්වරම් ධීවර නායකයෙකු වන ජේසු රාජා ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු රජය ගෙනඇති තීරණය පිළිබඳව සිය සතුට පළකරන බවය.

ශ්‍රී ලාංකික ජනතාව සඳහා උදව් කිරීමට සූදානම් බවත් යාන්ත්‍රික බෝට්ටු ප්‍රයෝජනයට ගනිමින් අදාළ ද්‍රව්‍යප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවත් ජේසු රාජා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *