සංචාරකයන් ගෙන්වා ගැනීමට අලුත් ක්‍රම සොයා ගත යුතුයි

සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැතිරෙන වැරැදි මත සහ ප්‍රචාර නිවැරැදි කිරීමට තානාපති කාර්යාලවල සහාය ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) පැවසීය.

සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (10) පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

සංචාරක ව්‍යාපාරයට ඍජු හා වක්‍රව සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති.

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය. ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය කඩිනම්ව නඟාසිටුවිය යුතු බව ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රට පිළිබඳ වැරැදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මඟින් නිවැරැදි කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාව ද නිලධාරීහු පෙන්වා දුන්හ.

සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්‍රයට ගත හැකි බව ද සාකච්ඡා කෙරිණ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *