රුසියන් හමුදාව පසුබසී – බුද්ධි අංශ වාර්තාව මෙන්න

යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් බුද්ධි අංශ එක්රැස් කරගත් සියලු තොරතුරු අනාවරණය කළාය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ බටහිර හිතවාදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී බලයෙන් නෙරපා රුසියාවට හිතවාදී ‘රූකඩ පාලනයක්’ ස්ථාපිත කිරීමට බවත් එය සාර්ථක කර ගැනීම අසීරු වී ඇති බවත් ඒව්රිල් හේයින්ස් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළාය.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත්තේ රුසියාවතමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය.

තමන් රුසියාවට හෝ පුටින් ට හෝ බියක් නොමැති බවත්, මැරෙන්න සූදානම් බවත්, සෙලෙන්ස්කී වීඩියෝ පණිවුඩයකින් පවසා තිබේ. එමෙන්ම තමන් කීව් අගනුවර සිටින බවත් සැඟවී නැති බවත් ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණයට කර මේ වනවිට සති දෙකක කාලයක් ගතවී ඇත. රුසියන් ජනාධිපති පුටින්ගේ අරමුණ වී ඇත්තේ දින දෙකක් පමණ යනවිට යුක්රේනය යටත් කර ගැනීමට යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත්, යුක්රේන වැසියන්ගෙන් එල්ල වන ප්‍රතිප්‍රහාර හමුවේ එය අසාර්ථක වී තිබේ. යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන රජය කියයි.

ඝාතනයට ලක් වුණු බව පැවැසෙන්නේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. ඒ අනුව, යුක්රේන හමුදා අතින් ඝාතනයට ලක්වුණු දෙවැනි රුසියන් ජනරාල්වරයා වන්නේ මොහුය. මීට පෙර ඝාතනයට ලක් වූයේ ජනරාල් ඇන්ද්‍රෙයි සුකොවෙට්සීය.

යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 12,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි. රුසියාව පවසා ඇත්තේ යුක්රේනයේ දී මියගිය ඔවුන්ගේ සොල්දාදුවන් ගණන 500 ක් පමණක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *