දූපතකුත් අයිති පොහොසතා

පරිගණකය හා සම්බන්ධ තාක්ෂණ ක්‍රියාවලියේදී මහ මොළකාර ‘ලැරී’ලා දෙදෙනෙකි. ඉන් එක් අයෙකු වන්නේ ‘ගූගල්’ සමාගම නිර්මාණය කළ ලැරී පේජ් ය. අනෙක් මහ මොළකරුවා වන්නේ ‘ඔරැකල්’ පරිගණක තාක්ෂණ කෝපරේෂන් ආයතනය බිහිකළ ලැරී එලිසන්ය.

අද අප කතා කරන්නේ ලෝක පරිගණක තාක්ෂණ කරළියේ ඉහළින්ම අණසක පතුරුවන ලැරී එලිසන් ගැනය. ඔබ දන්නවාද? මේ ලැරී එලිසන් යනු ලෝකයේ මිල අධිකම, නැතහොත් වටිනාම ‘දූපත’ අයිති ව්‍යවසායකයාය. ඩොලර් එකකින් වැටුප අරඹා ඩොලර් මිලියනයක වැටුපක් ලැබීම දක්වා දුරගිය මේ ලැරී එලිසන් යනු වත්මනෙහි ලෝකයේ වෙසෙන මහා ප්‍රකෝටිපතියන් අතරින් පස්වැනි ස්ථානයේ පසුවන පොහොසතා වේ. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගයට මේ ලියැවෙන්නේ ලෝ ප්‍රකට ව්‍යවසායක ලැරී එලිසන්ගේ ලස්සන දූපත ගැනය.

ලෝකයේ බොහෝ ධනවතුන් මෙන්ම, තරු චරිත අතර බෙහෙවින් ප්‍රකට කලාපයක් ලෙස හවායි දූපත් කලාපය නම් කළ හැකිය. හවායි දූපත් අයත් වන්නේ ඇමෙරිකාවේ, බටහිර ජනපද කලාපයටය. ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර 2000 ක් පමණ දුරකින් පැසිපික් සාගරයේ පිහිටි දූපත් කීපයකි. හවායි ප්‍රධාන දූපත් අටකින් පමණ සමන්විත වේ. ‘හවායි අයි’ යනු ලොකුම දූපතය. මාඌයි, ඔආහු කුඌයි අයි, මොලෝකා අයි, ලානා-අයි හෙවත් ලනායි නී-ඉහායු, කාහෝ ඔලාවේ යනු එම ප්‍රධාන දූපත්ය. එයින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ (දශ ලක්ෂයකට ආසන්න) ‘ඕආහු’ දූපතේය.

මේ අතරින් ලැරී එලිසන් ධන කුවේරයා සහ ලෝක ව්‍යවසායකයා සතු වන්නේ ‘ලානා-අයි’ හෙවත් ‘ලානා’යි (Lana I) දූපතය. ලෝකයේ විවිධ කලාපවල ඇති පුංචි දූපත් අතරින්, මිල අධිකම, හෙවත් වටිනාම දූපත වන්නේ මෙම ‘ලනා’ යි. දූපතය. වර්ග කිලෝමීටර් 364 ක පමණ විශාලත්වයෙන් යුතු ‘ලනා’ යි හි ජනගහණය 2705 ක් ලෙස 2021 දී සඳහන් විණි. මෙම දූපතෙහි සියයට 98 ක් අයිතිය ඇත්තේ ‘ලැරී’ හටය.

අනෙක් සියයට දෙකක සුළු කොටස හවායි දූපත් අයත් පරිපාලනයට සහ ලනායි හි වෙසෙන නිවෙස් හිමි කීප දෙනෙකුට අයත්ය. කෙසේ වෙතත් සියයට දෙකක් යනු මොකක්ද? මෙය සම්පූර්ණයෙන්ම ලැරීගේ දූපත ලෙස හැඳින්විය හැකිය. ලැරී 2012 දී මෙම දූපත මිලදී ගත්තේ ඩොලර් මිලියන 300 කට යැයි ෆෝබ්ස් වාර්තාවක සඳහන්ය. අද වන විට එම දූපතෙහි වටිනාකම තක්සේරු වී ඇත්තේ ඩොලර් මිලියන 610 ක් ලෙසය.

තවත් විදියකට කිවහොත් රාජ්‍යයක් සතු නොවී පුද්ගලයෙකු සතු ලෝකයේ වටිනාකම අතින් ඉහළම දූපත වන්නේ මෙම ‘ලිනා’ යි දූපතය. ඇයි ලැරී මෙම දූපත එද‌ා මෙච්චර මුදලක් ගෙවා ගන්නට ඇත්තේ? ඒ වෙන කිසිවක් නිසා නොවේ මෙය සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත් කිරීම ඔහුගේ අරමුණ විය හැකිය. එමෙන්ම පුද්ගලිකව නිවාඩුව ගත කිරීමට ‘ලැරී වඩාත් කැමැති මෙම ‘ලනා’ යි දූපතේ සිටය. ‘ලනා’ යි එතරම්ම ලස්සන යැයි ලෝකයේ ප්‍රභූ මෙන්ම ධනවත් සංචාරකයින් පවසන්නකි. මොනවද ‘ලනා’ යි දූපතේ බලන්නට ඇත්තේ?

ලෝකයේ බොහෝ දෙනා තාක්ෂණික හරඹය හමුවේ දිවි ගෙවන්නේ යන්ත්‍ර සූත්‍ර මෙනි. මෙම ‘ලනා’යි දූපතේදී යාන්ත්‍රික බවින් තොරව, දුරකථනයෙන් පවා ඈත් වී සොබාදහම රිසි සේ විඳගැනීමට අවකාශය ඇත. කෑකෝ ගැසීම් සහ ශබ්දවලින් තොර දූපතකි. වාහන දුමින් හෝ කර්මාන්ත නිසා දූෂණය වූ අපවිත්‍ර වූ දූපතක් නොවේ. එහි ඇත්තේ ‘හුස්ම’ ගැනීමට හොඳම වාතය වේ. හොඳ හුස්මක සුවය ලබන අතරේ, දූපතේ නැරඹීමට ඇති ස්වභාවික තැන් ලෝක සංචාරකයින් හට ලබා දෙන්නේ විශ්මයකි.

ඒ අතරින් හුලෝපෝයි බීට් (Hulopoe) යනු ලෝකයේ පිරිසිදු සහ සුන්දරම වෙරළ තීරයකි. පිහිනීමට සහ කිමිදීමට එතරම් සොඳුරු වෙරළක් ලොව තවත් නැතැයි සංචාරකයින්ගේ අදහසය. මෙම වෙරළ තීරය නිර්මාණය කර ඇත්තේ විනෝද ගමන් එන්නන් සඳහා වූ උයනයක් ලෙසය. සාමාන්‍යයෙන් වෙරළට ගොස් දියඹේ පිහිනා, කිමිදී එන අය ස්නානය කිරීමට තමුන් නවාතැන් ගන්නා හෝටලයට යා යුතුවේ. නමුත් මෙම වෙරළෙහි සිතු සේ පිහිනා ඇවිත් ස්නානය කිරීමට ස්ථාන ඊට යාබදව තනා තිබේ.

පෝලිහුවා (Polihua) බීච් යනු මෙම ‘ලනා’ යි දූපතේ තවත් වෙරළ තීරයකි. මෙතැන නම්කර ඇත්තේ ‘ගාඩ්න් ඔෆ් ද ඊඩ්න්’ යනුවෙනි. ලනායි සිට මෙතැනට යාමට ගතවන්නේ විනාඩි 25 ක කාලයකි. බොහෝ සංචාරකයින් වෙරළට එන්නේ හිරු එළියේ නැහැවීමට නම් ලෝකයේ හිරුඑළිය මේ තරමට ඇති ස්ථානයක් තවත් නැතැයි සඳහන් වේ. සැතපුම් දෙකක පමණ දුරකට විහිදී ඇති වෙරළ තීරය මිස ගොඩනැගිලි හෝ වෙනත් ඉදිකිරීම් කිසිවක් නැත. තද සුළඟ නිතර පවතින්නේ සංචාරකයින්ට ලබා දෙන තෑග්ගක් ලෙසය. ස්වභාවධර්මය මොනතරම් නම් ආශ්චර්යයවත්ද? කොසේ වුවද මෙම වෙරළෙහි දිය නෑමට, පිහිනීමට තහනම් කර ඇත්තේ රළ මත විදුලිධාරා ගමන් කරන නිසාය.

ෂිප්ව්රොත් වෙරළ ඊට එහායින් පිහිටා තිබේ. දෙවැනි ලෝක යුද සමයේදී සුන්බුන් වී වෙරළට ගොඩ ගසා ඇති යුද නෞකා දෙකක නටබුන් මෙහිදී දැකගත හැකිය.

ලනායි සංස්කෘතිය හා උරුමය රැගත් මධ්‍යස්ථානයට ගිය විට අතීතය හාරා අවුස්සන්නන් හට අතීත රසයේ බොහෝ දේ උකහා ගත හැකිය.

ලනායි කැට් සැන්චුයර් යනු පූසන් (බළලුන්) සඳහා වෙන්වූ ස්ථානයකි. පූසන්ගේ යහපත උදෙසා, (ආපද‌ාවන්ට ලක්වූ සහ අසරණ වූ) ඔවුන් රැකබලා ගන්නා සහ සාත්තු සප්පායම් කෙරෙන ස්ථානයකි. පූසන්ට පමණක් නොව ආපද‌ාවන්ට ලක්වූ පක්ෂීන් හට ද මෙහිදී ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ.

මේවාට අමතරව, මයික් කැරොල් ගැලරි, මැනේලේ ගොල්ෆ් පිටිය, ‘පුපේගේ’ නමැති මුහුදු සීමාවේ ඇති පාෂාණය දැකගත හැකිය. පුපේගේ අඩි අසූවකින් උස්ය. තම බිරිඳ මළ සොවින් සැමියා. මෙම පාෂාණය මුදුනතින් පැන දියදිවි හානිකර ගත් නිස මෙය ස්වීට්හාට් රොක් නමින් ද හඳුන්වයි.

මෙම ලනායි දූපතේ විශේෂිතම ස්ථානය වන්නේ අඟහරු ලෝකය මෙන් වූ ස්ථානයයි. ඔබ අඟහරු වෙත ගොස් නැති බව සැබෑවකි. එහෙත් මෙතැන අඟහරුගේ පොළව මෙන් වූ තැනෙකි. රවුම් වූ පාෂාණ සහ පරිසරයේ රතට හුරු තද දුඹුරු පැහැයෙන් යුතුය. පෘථිවියේ ඇති අඟහරු ලෝකය එතැන යැයි හැඳින්වෙන්නේ ඒ නිසාමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *