කල්කිරී නවත්තලා – මාස තුනකින් කිරිපිටි හදලත් නෑ

අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිගේ තීරණ හේතුවෙන් පසුගිය මාස 3 ක කාලයේදී කිරිපිටි නිෂ්පාදනය කර නැති බව මිල්කෝ ආයතනයේ නව සභාපති රේණුක පෙරේරා මහතා සිය රාජකාරී බාර ගැනීමේ අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට සහ නව සභාපතිවරයාට පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ සෞභාග්‍යයේ දැක්ම අනුව ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුනේ 2024 වර්ෂය වන විට වීදේශීය කිරිපිටි පරිභෝජනය නවතා දමා දියර කිරි පරිභෝජනයට ජනතාව හුරු කර වීම බවයි

නමුත් එම අරමුණ ඇතිව පත්වූ හිටපු සභාපතිවරයා එයට පටහැනිව යමින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවට ආයතනයට ලැබෙන කිරි වලින් අයිස්ක්‍රීම් හා යෝගට් ඇතුළු අනිකුත් නිෂ්පාදන වැඩි කිරීම පමණක් සිදු කල බව ඔවුහු පෙන්වා දුන්හ.

එමෙන්ම මිල්කෝ ආයතනයේ ජනප්‍රියම නිෂ්පාදනය වන කල්කිරී බෝතල් නිෂ්පාදනයද හිටපු සභාපතිවරයා විසින් සුක්ෂම ලෙස පහත දමා ඇති බවද වෘත්තීය සමිති චෝදනා කරනවා.

තවද දේශීය කිරි ගොවියාගේ කිරි ලීටරයක් රු.80 – 85 මුදලකට මිලදී ගන්නා මිල්කෝ පාලනාධිකාරිය අතරමැදි තැරව්කරුවන්ගෙන් රු.120 මුදලකට කිරි ලීටරයක් මිලදී ගන්නා බවද ඔවුන් හෙළිකර සිටියා. මෙය ආයතනය තුල ඇති වී තිබෙන මාෆියාවක් බවත්, මේ ගැන වහාම සොයා බලන ලෙසත් මිල්කෝ වෘත්තීය සමිති නියෝජිතයින් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ වර්තමානයේ ඇතිවී තිබෙන කිරිපිටි හිඟය මහහැර ගැනීම සඳහා ආයතනයට ලැබෙන කිරි මඟින් වැඩි ප්‍රමාණයක් දියර කිරි නිෂ්පාදනය කර, අයිස්ක්‍රීම් හා අනිකුත් අතුරු නිෂ්පාදන අඩු ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට උපදෙස් ලබා දුන්නත් එය නිසි ආකාරව සිදු නොවූ බවයි.

මිල්කෝ ආයතනය කිරි ගොවීන්ගේ මෙන්ම අතරමැදි ව්‍යාපාරිකයන්ගේ කිරිද එකම මිලකට ලබා ගත යුතු බව නව සභාපතිවරයා කියා සිටියා. මෙය නිවැරදි කිරීම මඟින් කිරි ගොවියාට රු.5 කින් නොව ඊට වඩා වැඩි මුදලකින් කිරි ලීටරයක් මිලදී ගැනීමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවද රේණුක පෙරේරා මහතා මෙහිදී කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *