තාත්තයි බාප්පයි නිසා ‘අද අවසන් ගමන් යන’ ආදරණිය දියණිය නුවන්තිකා(VIDEO)

සිය පියාගේ හා බාප්පාගේ පහරකෑමට ලක්ව මියගිය බවට සැකකළ දැරියගේ අවසන් කටයුතු අද (24) සවස සිදුකිරීමට නියමිතය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය ඊයේ (23) රාත්‍රියේ නිවස වෙත රැගෙන විත් තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් මහතා විසින් සිදුකර විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

අදාළ දැරියට එම දඬුවම ලබාදී ඇත්තේ ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් බවට පසුගිය දා අනාවරණය වුණි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති 9 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියකි.

පසුගිය 13 වෙනිදා දැරියව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් තිබුණේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අපේක්ෂාවෙනි.

දින කිහිපයක් එම නිවසේ ගත කළ ඇය ඉකුත් 19 වැනිදා නැවත සිය නිවසට රැගෙන විත් තිබුණි.

ඉන්පසුව ඇය කිහිප වරක්ම වමනය කර තිබු අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවය.

ඒ බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යැයි පවසමිනි.

පසුව 21වැනිදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, එදින අලුයම දැරියගේ පියාද ඇයට පහර දීමක් සිදුකර තිබේ.

පසුව දැරිය රෝහල්ගත කිරීමට නිවැසියන් උත්සාහ කළ ද පියා ඊට ඉඩ දී නොමැති අතර එදින දහවල් 2ට පමණ දැරිය නිවසේම මියගොස් තිබුණි.

සිය නිවසේ තබා ඇති නුවන්තිකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් රැසක් පැමිණ සිටියහ.

සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වු නුවන්තිකාගේ වෙන්වීම ඇගේ සහෝදරියට දරා ගැනීමට නොහැකි වු කම්පනයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *