ජෙනරේටරය නවතී..දුරකතනයේ ටෝච් එළියෙන් සැත්කමක් – මුල්ලේරියාවේ දෙවිවරු අම්මයි දරුවයි බේරාගත් හැටි

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සිසේරියන් සැත්කමක් සිදුකෙරෙමින් තිබියදී එහි ජෙනරේටරය නතර වීම නිසා ජංගම දුරකතනයේ ටෝච් එළි භාවිත කරමින් එම සැත්කම සාර්ථකව නිම කර මව ත් දරුවා ත් බේරා ගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම සමත් වූ පුවතක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වේ.

නාරි හා ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම මෙම සැත්කම කිරීම ආරම්භ කර ඇත්තේ ඉකුත් 4 වන දා පෙරවරුවේ ය.

ඒ වනවිට ත් මුල්ලේරියාව ප්‍රදේශයට විදුලිය නොතිබූ අතර රෝහලේ ජෙනරේටරයෙන් රෝහලට විදුලිය සැපයෙමින් තිබිණි.

ජෙනරේටරයෙන් විදුලිය සපයද්දී වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක නොවන බැවින් ශල්‍යාගාරය වායුසමනය කර තිබුණේ ද නැත.

ගැබිනි මවගේ ඉණෙන් පහළ කොටස හිරි වට්ටා මෙම සිසේරියන් සැත්කම සිදුකිරීමට පියවර ගෙන තිබූ අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්, වෛද්‍යවරුන් කිහිප දෙනෙක්, හෙද හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එහි සිටියහ.

සැත්කම සිදුකර බිළිඳා බිහි කර මවගේ කැපුම් තුවාල මසන්නට වෛද්‍යවරයා සැරසෙන මොහොතේ ජෙනරේටරය ද නැවතිණි. ඒ වන විට මවගේ කැපුම් තුවාල මසා තිබී නැත. ශල්‍යාගාරය අඳුරේ පැවතිණි.

එපමණක් නොවේ, එහි විදුලියෙන් ක්‍රියාත්මක වන කිසිදු උපකරණයක් ක්‍රියාත්මක නොවීය. ඒ මොහොත මව ත් දරුවාත් ඉතා අවදානම් අඩියක සිටින මොහොතකි.

වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම හැකි අන්දමින් සැත්කම ඉවර කරන්නට තීන්දු කළහ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තම අත ඇති දුරකතනයන්හි ටෝච් දැල්වූහ. වෛද්‍ය කෝදාගොඩ සැත්කම අවසන් අදියර දිගටම කරගෙන ගියේ ය.

එම කණ්ඩායමේ දස්කමින් මේ වන විට මවත් දරුවාත් නිරුපද්‍රිතව සිටින බව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

විශේෂයෙන් රුධිර වහනය වීම නැවැත්වීමට භාවිත කරන උපකරණය විදුලිය නොමැතිව ක්‍රියාත්මක නොවන බව ත් එහිදී කෙසේ හෝ එම කණ්ඩායමේ දක්ෂතාව හේතුවෙන් සිදුවන්නට ගිය අනතුරක් වැළකී ගිය බව ත් හෙතෙම කියා සිටියේ ය.

මෙවැනි අවස්ථාවක රෝහලේ ප්‍රයෝජනය සඳහා තවත් ජෙනරේටරයක් තිබුණේ නම්, ඉතා වටිනා බව ද ඔහු සඳහන් කළේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *