ලෝකයේ වැඩිම පාද ඇති සතා

හැකරැල්ලා, කංකුණ්ඩා ආදිය අයත් වන්නේ සහස්‍රපාදිකයන් එසේත් නැතිනම් සන්ධිපාදිකයන් අතරටය. ඉංග්‍රීසියෙන් මොවුන් හැඳින්වෙන්නේ ‘මිලිපීඩ්’ (Millipede) යනුවෙනි. ‘මිලිපීඩ්’ යන වදනේ අරුත, ‘පාද දහසක් ඇත්තා’ යන්න ය. ඉංග්‍රීසියෙන් ‘සෙන්ටිපීඩ්’ (Centipede) යන්නෙහි අරුත ‘පාද සියයක් ඇත්තා‘ යන්නය. ‘සෙන්ටිපීඩ්’ සඳහා උදාහරණය පත්තෑයා ය.

මිලිපීඩ්’ මෙන්ම ‘සෙන්ටිපීඩ්’ ද පොදුවේ සිංහලෙන් හැඳින්වෙන්නේ සන්ධිපාදිකයන් යනුවෙනි. ‘මිලිපීඩ්‘ යැයි කීවත්, ‘මිලිපීඩ්’ ලෙස හැඳින්වෙන ජීවීන්ට පාද දහසක් නැත. වැඩිම පාද ගණනක් ඇති මිලිපීඩයා ට ඇත්තේ ද පාද 750 කි. සත්ව ලෝකයට අලු‍ත්, මීට පෙර හමු නොවුණු මිලිපීඩාවකු පසුගිය දා ඕස්ට්‍රේලියාවෙන් හමුවිය. මේ සත්වයාට පාද 1,306 කි. ඒ අනුව මිහිමත වැඩිම පාද ගණනක් ඇති සත්වයා ලෙස මෙම මිලිපීඩාවා සැලකෙයි.

මෙම නව සත්වයා නම් කර ඇත්තේ ‘යුමිලිපස් පර්සෙෆෝන්’ Eumillipes persephone
යනුවෙනි. ‘යුමිලිපස් පර්සෙෆෝන්’ සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පතලක් තුළිනි. පතල ඇත්තේ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ, ගෝල්ඩ්ෆීල්ඩ් ප්‍රාන්තයේ ය. ‘යුමිලිපස් පර්සෙෆෝන්‘ සොයා ගැනීමට සමත් වූයේ ඇමෙරිකාවේ වර්ජිනියා බ්ලැක්ස්බර්ග් ටෙක් විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥ පෝල් මරෙක් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමය. ‘යුමිලිපස් පර්සෙෆෝන්’ දිගින් අඟල් 3.76 කි.

පළල අඟල් 0.03 කි. ඇස් නැත. හිස උල්ය. ප්‍රමාණයෙන් විශාල ඇන්ටෙනා දෙකක් ඇත. මුඛය කුරුලු‍ හොටක් වැනිය. සිරුර කාණ්ඩ 330 කට වෙන් වී ඇති අතර පාද කුඩා ය. අඳුරේ පස් යට සිටින ‘යුමිලිපස් පර්සෙෆෝන්’ ට ඇස් අවශ්‍ය නොවෙයි. ඌ පස් අතරින් ගමන් කරන්නේත් ආහාර සොයා ගන්නේත් උගේ දිගු ඇන්ටෙනා උදව්වෙනි. කීට විද්‍යාඥ පෝල් මරෙක් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට මේ අපූරු අලු‍ත් සත්වයා සොයා ගැනීමට හැකි වී ඇත්තේ මීටර් 60 ක් ගැඹුරිනි. ඒ, ඛනිජ ද්‍රව්‍ය සොයමින් සිදු කළ කැණීමක් අතරතුරේ අහම්බෙනි.

මීට පෙර වැඩිම පාද ගණනක් හිමි මිලිපීඩ් විශේෂය ලෙස වාර්තා අතරට ගියේ ‘ඉලැක්මේ ප්ලෙනිපෙස්’ Illacme plenipes නමින් නම් කෙරුණු පාංශු ජීවියාය. මෙම ජීවියාට පාද 750 කි. ‘ඉලැක්මේ ප්ලෙනිපෙස්‘ යනු 2012 වසරේ දී කැලිෆෝනියාවෙන් පළමු වරට හඳුනාගත් මිලිපීඩයෙකි. ‘යුමිලිපස් පර්සෙෆෝන්’ මිලිපීඩයා ‘ඉලැක්මේ ප්ලෙනිපෙස්’ ට ඥාති වෙනවාදැයි සෙවීම ද මේ වනවිට ආරම්භ කර තිබේ. ‘ඉලැක්මේ ප්ලෙනිපෙස්’ ගැහැනු සතුන්ට ඇත්තේ පාද 750 ක් වුවත් පිරිමි සතුන්ට ඇත්තේ පාද 562 කි. ‘ඉලැක්මේ ප්ලෙනිපෙස්’ පිරිමි සහ ගැහැනු සතුන්ගේ ආයු කාලයත්, ප්‍රමාණයත් එකිනෙක වෙනස් බව පැවැසෙයි.

ඕස්ට්‍රේලියාවෙන් හමුවුණු මෙම නව මිලිපීඩ විශේෂය, ‘යුමිලිපස් පර්සෙෆෝන්‘ යන නමින් නම් කර ඇත්තේ ග්‍රීක පුරාණයේ සඳහන්, ඩිමීටර් දෙවඟනගේ දියණිය, පර්සෙෆෝන් සිහි ගන්වමිනි.

ග්‍රීක දේව පුරාණයට අයත් ප්‍රධාන දෙවිවරුන් තිදෙනාගෙන් කෙනකු වන්නේ අපායට අධිපති හේඩීස් ය. අනෙක් දෙවිවරුන් දෙදෙනා අතරින් මහ දෙවියා ඔලිම්පස් කන්දේ අධිපති සියුස් ය. දෙවැනියා මුහුදට අධිපති පොසයිඩන්ය.

නපුරු දෙවියකු ලෙස ප්‍රකට හේඩීස්, ඩිමීටර්ගේ දියණිය පර්සෙෆෝන් අපායට රැගෙන යයි. ඩිමීටර් යනු පසට සහ වගා කටයුතුවලට අධිපති දෙවඟනය. පර්සෙෆෝන්ගේ පියා සියුස් ය. හේඩීස් තම දියණිය පැහැර ගත් බැවින්, තමන් තමන්ට නියමිත රාජකාරිවලින් ඉවත් වන බව ඩිමීටර්, සියුස් මහ දෙවියන්ට මැසිවිලි නගයි.

සියුස්, ඔහුගේ පණිවුඩකරු හර්මීස් අපායට යවන්නේ පර්සෙෆෝන් යළි ඇගේ මවට බාර දෙන්නැයි හේඩීස්ට බල කිරීමටය. ඒ වනවිට හේඩීස්, පර්සෙෆෝන් අපායට බැඳ තබා තිබේ. ඒ ඇයට මැජික් දෙලු‍ම් ඇට කෑමට දෙමිනි. පර්සෙෆෝන් ට රිසි පරිදි අපායෙන් යාමට හැකි වන්නේ නැත. සියුස්, හේඩීස් සමඟ එකඟතාවකට පැමිණෙයි.

ඒ, පර්සෙෆෝන් වසරේ මාස කීපයක් හේඩීස් සමඟත් ඉතිරි මාස කීපය ඩිමීටර් සමඟත් සිටීමටය. පර්සෙෆෝන්, ඩිමීටර් සමඟ සිටිද්දී, පරිසරය සුන්දර වී, ගස් මල්වලින් සහ ඵලවලින් පිරෙයි. මෙය වසන්ත කාලයයි. පර්සෙෆෝන්, හේඩීස් සමඟ සිටින කාලය ශීත කාලයයි. වගා කටයුතු සිදු නොවෙයි. සෘතු භේදය ග්‍රීක දේව පුරාණයට අනුව පැහැදිලි කෙරෙන්නේ මෙලෙසය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *