කල්පිටියේ ඩොල්ෆින් රඟහලට නිරෝධායන නීති අනුව යන්නේ මෙලෙසයි

ඩොල්ෆින් මසුන්ගේ සුන්දර පාරාදීසයක් බඳු වූ මනස්කාන්ත කල්පිටි සයුරේ සොබා දහම හා බැඳූණු අපූර්ව දසුනක් මේ දිනවල දිස් වන්නේ ය. අනඟි රැඟුමින් රඟන මේ සමුදුරේ මිතුරන් හා මහ සයුරේ දැවැන්තයන් දකින්නට කල්පිටි වෙරළට ඔබටත් පිය නඟන්නට හැකිනම් ඒ අත්දැකීම ඔබටත් විඳින්නට හැකිවේවි.

මේ ඒ අපුරු රඟහලයි.

මේ උදාවී ඇත්තේ කල්පිටි මුහුදු තීරයේ ඩොල්ෆින්ලාගේ වසත් සමයයි. ඔක්තෝම්බර් මස මැද සිට මාස කිහිපයක් ඉදිරියට එනම් අප්‍රේල් මැයි දක්වා කල්පිටි මුහුදු තීරයේදි ඇති තරමට ඩොල්ෆින් රැඟුම් දැක ගන්නට හැකි වන්නේය. එක් විශේෂයක් පමණක් නොව ලංකාවට ආවේණික නොවූ ඩොල්ෆින් මසුන් විශේෂද මේ දිනවල කල්පිටි මුහුදු තීරය කරා සැරි සරන්නේ සිය ජීවන කාලයේ තවත් අවස්ථාවක් මේ මුහුදු තීරයේ සැරි සරන්නටය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඩොල්ෆින් වාරය මෙදා විවර වූයේ දේශීය සංචාරකයන්ට පමණි. ඒ සඳහා කල්පිටියේ කන්දකුලිය, කුඩාව සහ ඉලන්තඩිය දොරටුවලින් වලින් මුහුදට පිවිසීමට ඔවුන්ට අවසර දෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුවේ වන අඩවි කාර්යාලයෙනි. අඩුම කාලයකින් කල්පිටි යාබද සයුරට ගොස් ‍ඩොල්ෆින් රැඟුම් බලන්නට බෝට්ටු 116 ක් පමණ සංචාරකයන් සඳහා වෙන් ව ඇත්තේ දෙපාර්තමේන්තු නිසි අවසරය ඇතිවය.

දැදුරු ඔයෙන්, මා ඔයෙන් හා කලා ඔයෙන් ගලා යන දිය දහර මේ මසුන් ට ඇති තරමක ආහාර සැපයෙන්නේය. කල්පිටි මහ සයුරේ මේ අනඟි රැඟුම් රඟන ඩොල්ෆින් හා තල් මසුන් කිහිප වර්ගයකි. ප්‍රෙසර්ස් මුල්ලා (Fraser’s Dolphin) , තිත් මුල්ලා (Spotted Dolphin), සාමාන්‍ය බෝතල් හොට මුල්ලා (Bottlenose Dolphin), කබර මුල්ලා (Indu- Pacific humpback Dolphin) , දඟර මුල්ලා (Spinner Dolphin), මිංකි තල්මහ (Minke Whale), නිල් තල්මහ (Blue Whale), කන්ද තල්මහ (Humpback Whale), කොමදා කුඩා වරල තල්මහ (Sperm Whale), මකර කොමදුවා (Killer Whale) කල්පිටි මුහුදු තීරයේදි දැකගත හැකි වන්නේය.

කල්පිටියේ ඩොල්ෆින් සවාරි යාමේදී කොවිඩ් නීති රීතිද අනුගමනය කිරිම විශේෂිත කරුණකි. ඩොල්ෆින් නැරඹීම සඳහා සංචාරකයන් ගෙන යන සෑම යාත්‍රාවක්ම විෂබීජහරණයට නතු කරන්නේ පැමිණෙන අයගේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ සෑම බෝට්ටුවකටම මීටරයේ පරතරය පවත්වා ගැනීම, ආහාර පාන ගැනීමේදි නිරෝධායන නීති අනුගමනය කිරීම පුරුද්දකි. මීට අමතරව ඩොල්ෆින් නැරඹීම සඳහා සහභාගි වන සංචාරකයන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් පවත්වා ගෙන යාම නාවිකයන්ට අනිවාර්ය අංගයකි.

කොවිඩ් වලින් ආරක්ෂා වි විනෝදයෙන් කාලය ගත කරන්නට කල්පිටි මුහුදු සවාරිය ලාංකික සංචාරකයන්ට හොඳ තෝතැන්නකි. ඩොල්ෆින්, තල්මසුන් පමණක් නොව අලංකාර කොරල් පරද, කයිට්ස් සර්ෆින්ද බලන්නට මේ සුන්දර මුහුදු චාරිකාවට ඔබට එක් වන්නට අවස්ථාව ඇතිනම් එය විඩාවට පත් වූ ඔබේ මනසට යම් අස්වැසිල්කි. මේ සියල්ලන්ටම ඔබට වැය වන්නේ සුළු මුදලක් විම විශේෂිත කරුණකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *