දඩය අඩු කරගත් හිටපු පාපන්දු සභාපති

ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු ඩොලර් 20,000 ක දඩය පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර්ගේ මැදිහත් වීමෙන් ඩොලර් 5000 දක්වා අඩුකරගෙන ඇති බව වාර්තා වනවා.

මෙසේ දඩ මුදල අඩුකිරීමේදී තමා තවමත් ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයකු ලෙස කටයුතු කිරීම මෙම සහනය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බවද ජස්වර් උමාර් සඳහන් කළා.

ජස්වර් උමාර් ආසියානු පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවකට අනුව ආසියානු පාපන්දු සම්මේලනයේ විනය කමිටුව මගින් මෙම තීරණය ගෙන තිබෙනවා.

තවද දඩ මුදලේ ඉතිරිය වූ ඩොලර් 15,000 වසර දෙකක් සදහා අත්ටුවීමටද තීරණය කර ඇති බවත් අවුරුදු දෙකක් තුල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පාපන්දු තරග සදහා සහභාගී වීම පැහැර හැරියහොත් මෙම ඩොලර් 15,000ක් මුදල ගෙවීමට සිදුවනු ඇති බවත් ජස්වර් උමාර් පවසනවා.

2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුනද අවසන් මොහොතේ එම සංචාරයට එක් වූයේ නැහැ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබුණා.මෙයට අමතරව ඉදිරි තරඟාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමටද සලකා බලමින් සිටින බව අනාවරණය වුණා.

දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම මූල්‍යමය දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ද පෙන්වා දුන් අතර තමා මැදිහත්වී ආසියානු සම්මේලනයට අභියාචනා කර එය වළක්වා ගැනීමට හැකි වූ බවත් ජස්වර් උමාර් සඳහන් කරනවා.

ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු අවුරුදු 17න් පහල ජාතික කණ්ඩායමට උස්බෙකිස්තානයේ පැවැත්වුනු තරඟාවලිය සඳහා සහභාගී වීමට නොහැකිවූයේ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර හටගත් මත ගැටුම නිසායි.

අමාත්‍යාංශය විසින් පසුගිය සැප්‍තැම්බර් 23 වනිදා ක්‍රීඩා සංගම්වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත්
එයට සුදුසු විකල්පයක් ලබා නොදීමත් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියළු කටයුතු ඇනහිට තිබීම ඊට හේතුව බවට චෝදනා එල්ලවන බව ජස්වර් උමාර් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *