අලුත් කැබිනට් ඇමතිවරු 12 ක් මේ මස අගදී

නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *