හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක් – තත්ත්වය ඉතා බරපතලයි

ජපානයේ, නාරා නගරයේ පැවති දේශපාලන ප්‍රචාරක උත්සවයක් අතරවාරයේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හිටපු අගමැතිවරයා වේදිකාවේ කතා කරමින් සිටියදී ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවත් ඔහු ලේ ගලමින් වේදිකාව මත ඇද වැටී සිටින අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙවරක් ඔහුට වෙඩි තබා ඇතැයි සදහන් වේ.

එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් තුවක්කුකරු මැඩපවත්වා ඇති අතර, 41 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.

මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය හමුවකදී ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හැඟීම්බරවෙමින් මාධ්‍යවේන්ට කියා සිටියේ හිටපු අගමැති අබේ “ඉතා බරපතල තත්ත්වයේ” සිටින බවයි.

“දැනට වෛද්‍යවරු ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති,” කිෂිඩා මහතා කඳුළු වසාගෙන සිටින බවක් පෙනෙන්නට තිබූ අතර, අබේ මහතා දිවි ගලවා ගැනීමට “ඔහුගේ හදවතින්ම යාච්ඤා කරන” බව පැවසීය.

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ, සෞඛ්‍ය හේතූන් මත 2020 වසරේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *