බොරැල්ලේ සුප්‍රසිද්ධ මල් ශාලා හිමි ‘කෝටිපතියාගේ ගෙදර සුද්ද කළ’ කුඩු කප්පිත්තන් දෙන්නා

බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක් හිමි  කෝටිපති ව්‍යාපාරිකයකුගේ  බොරැල්ලේ  නිවස බිඳ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් සහ  රන් භාණ්ඩ තොගයක් සොරාගත්  පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව  පොලිසිය කියයි. 

එක් අයෙකු  එම මුදල් වලින් මිලදී ගත් ‍හෙරොයින් මත්කුඩු පානය කිරීමේදීත්, අනෙක් සැකකරු අනියම් බිරිඳ සමඟ හෝටලයක පෙම් සුව වී විඳිමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

එම සැකකරුවන් සන්තකයේ තිබී මුදල් රුපියල් පන්ලක්ෂ පනස් තුන් දහසක් , රන්මාලයක් , පෙන්ඩන් තුනක්, මුදුවක් ,ජංගම දුරකථන තුනක් මෙන්ම සොරා ගත් මුදල් වලින් මිලදී ගත් බව කියන  රුපියල් දෙලක්ෂ අනු දහසක් පමණ වටිනා යතුරු පැදියක් ,රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හොරෙයින්  මත් කුඩු  ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් ද පොලිසිය  බාරයට ගෙන ඇත. 

නවගමුව  කොරතොට  තුන් අදහේන නිවසක ට හොරයින් මත්කුඩු රැගෙන ආගන්තුක පුද්ගලයෙක්  පැමිණ  සිටින බවට  නවගමුව  පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  එම සැකකරු  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම සැකකරු සන්තකයේ හොරෙයින්  මත් කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 340 ක් තිබූ බවත් සැකකරු  සිරමැදිරියට දැමීමට පෙර සිදු කරන ලද පරීක්ෂාවේදී යට ඇඳුමේ සඟවාගෙන තිබූ  රුපියල් 5000 පන්දහසේ නෝට්ටු වලින් සමන්විත රුපියල් පන්ලක්ෂ විසි පන්දහසක මුදලක් තිබී හමු වීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  බොරැල්ල කොටා රෝඩ් ප්‍රදේශයේම තවත් පුද්ගලයකු සමඟ ඉකුත් 6 වෙනි දින බොරැල්ල  කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ සිදුකළ දේපොළ සොරා ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය 

 එම සැකකරුගෙන්  ප්‍රශ්න කිරීමේ දී  අනාවරණය වූ තොරතුරු අනුව එම සැකකරුගේ නිවෙස සොයා යාමේදී ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටි බව ත් ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකමෙන් අනතුරුව මිතුරකුගේ නමට රුපියල් දෙලක්ෂ අනූ දහසක මුදලක් ගෙවා යතුරුපැදියක් මිලදී ගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි  

ඒ අනුව එම මිතුරා සොයා ගොස් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී තමන්ගේ නමට යතුරුපැදිය මිලදී ගත්තද එය පරිහරණය කරන්නේ මිතුරා බවත් ඔහු  කටුනායක ප්‍රදේශයේ හෝටලයක තවත් කාන්තාවක් සමග සිටින බවට  තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව  පොලිස් නිලධාරීන් එම හෝටලය සොයා ගොස් විමර්ශන සිදු කිරීමේදී මිලදීගත් බව කියන  යතුරුපැදිය හෝටලයේ රථගාලේ තිබී හමු වූ බව පොලිසිය පැවසීය. 

අනතුරුව හෝටලයේ කළමනාකරුගෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයා  ඔහු සිටි කාමරය වටලා පරික්ෂා කිරීමේදී කාන්තාවක් සමඟ සිටි  සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් සොරාගත් රන්මාලය  ඇතුළු අනෙකුත් ස්වර්ණාභරණ පැළඳ සිටි බවත්, ඊට අමතරව සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් තුන්සීයක් මෙන්ම රුපියල් 28500 ක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා පැවැසීය .

එම සැකකරු මීට මාස හයකට පමණ ඉහත දී කෝට්පති ව්‍යාපාරිකයාගේ නිවස පින්තාරු කිරීම සඳහා සහභාගි වූ අයෙක් බවත් සැකකරුට විරුද්ධව  හොරෙයින්  මත්කුඩු නඩු පමණක් හයක්  මහාධිකරණයේ විභාග වන බවත් ,ඊට අමතරව බස් රථවල දී මුදල් පසුම්බි සොරා ගැනීම් වලට චෝදනා ලැබුවේ බවද පොලිසිය කියයි. 

කොරතොට ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට හෙරොයින් මත් කුඩු  නඩු දෙකක් පමණක් තිබෙන බව  පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 සහ 25 අතර පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. 

නවගමුව  පොලිසියේ වැඩබලන  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් . ජි. සුනිල් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන දිමුතු රත්නායක ,තාරක  රාජපක්ෂ  පොලිස් සැරයන්වරුන් වන 33126 ප්‍රේමසිරි 22498 සුමිත් පොලිස් කොස්තාපල්වරුන් වන 85242 බණ්ඩාර කාන්තා පොලිස් කොස්තාපල් 10252 දිල්රුක්ෂි සිවිල් ආරක්ෂක 71952 බණ්ඩාර මහත්ම මහත්මීහු  පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *