ගී ගැයීම තහනම් කර තිබූ ‘ජයශ්‍රී ට’ අධිකරණය දුන් විශේෂ නියෝගය

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළේය.

අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහාධිකරණය විසින් අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් එය ඉවත් කරන ලෙසත් අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් දෙදෙනා විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම්වලට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අදාළ වාරණ නියෝගය ඉවත් කිරීමට නියෝග කළේය.

අනතුරුව නඩුව මැයි මස 27 වනදා කැඳවීමට ද නියම වුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවය.

වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ වගඋත්තරකරුවන් මෙම ගීත වලට තමන් ද දායකත්වය සපයා තිබෙන හෙයින් ඒවායේ අයිතිය තමන් සතු බව කියා සිටිති. 

එබැවින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *