සල්ලි අච්චු ගහන බියගම ෆැක්ටරිය ගැන ඔබ නොදත් කතාව

සල්ලි දෙයියන්ගේ මල්ලි යැයි අප අසා ඇත්තේ ඉතා ඈත කාලයක සිටය. දෙයියන්ගේ මල්ලි මේ කාලයේ දෙයියන්ටත් වඩා බල සම්පන්න වී ඇති බව දැනෙන්නේ අතට ගත් සැණින් අතුරුදන් වී යන නිසාය. ඇතුවත් සෑහීමකට පත්විය නොහැකි, නැතුව නම් කොහොමටවත් බැරි සල්ලි මිනිස්සුන්ට බලය පෙන්නන්නට මෙලොවට පැමිණෙන ආකාරය බොහෝ දෙනා දන්නේ නැත.

යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හෝ විකිණීමට මුදලක් හුවමාරු කර ගැනීම ක්‍රිස්තු පූර්ව 3000 තරම් අෑත අතීතයට දිව යයි. සුමේරියානුවන් බාර්ලි සඳහා වෙනත් භාණ්ඩ හුවමාරු කරගැනීම වෙනුවට ලෝහ කාසි භාවිත කිරීමට පටන් ගත් බව එතරම් අෑත ඉතිහාසය අපට පවසයි.

කඩදාසි මුදල් භාවිතය ඇරඹෙන්නේ හත්වන සියවසේ චීනයෙනි. නමුත් ඒ ආරම්භය එතරම් සුබදායක වන්නේ නැත. රන්, රිදී කාසිවලට මෙන් පිළිගත් වටිනාකමක් කඩදාසි මුදල්වලට නොලැබීම හේතුවෙන් උද්ධමනය වැඩි වී රාජ්‍යය බංකොලොත් භාවයටද එය හේතුවක් විය. 1658 දී ස්වීඩන් මූල්‍යකරුවකු වන ජොහාන් පාම්ස්ට්‍රච් ස්වීඩන් රාජ්‍ය බැංකුව සඳහා කඩදාසි බැංකු නෝට්ටුවක් හඳුන්වා දුන් පසුව නැවතත් කඩදාසි මුදල් සංසරණය ආරම්භ විය.

1690දී මැසචුසෙට්ස්හි බේ කොලනිය විසින් නිකුත් කරන ලද කඩදාසි මුදල් නෝට්ටුව එක්සත් ජනපදයෙන් නිකුත් වූ පළමු කඩදාසි මුදල් නෝට්ටුව ලෙස සඳහන් වේ. එය බි්‍රතාන්‍ය පවුම්වලින් අගය නම් කරන ලදී. නමුත් මුල් කාලයේ පැවැති විවිධාකාර වූ ගැටලු සහ ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු සකස් කිරීම වැනි කාරණා හේතුකොට ගෙන කඩදාසි මුදල් සංසරණය

අවප්‍රමාණ වී පැවතුණි. මෙම අසාර්ථකභාවය නිසා එක්සත් ජනපදය එක්දහස් අටසිය ගණන්වල මැද භාගය වන තුරුම නැවත කඩදාසි මුදල් නිකුත් කළේ නැත.

ස්ථාවර මුදල් ඒකකයක අවශ්‍යතාව පිළිබඳ අවබෝධ කරගත් එක්සත් ජනපද කොංග්‍රසය 1861දී නැවතත් කඩදාසි මුදල් නිකුත් කිරීමට අවසර ලබා දුන්නේය. 1865දී ජනාධිපති ලින්කන් විසින් පිහිටුවූ රහස් සේවය සතුවූ ප්‍රධානතම කාර්යය වූයේ ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීම සහ අත්අඩංගුවට ගැනීමයි. එකල තිබූ කඩදාසි මුදල් නෝට්ටු විවිධ වර්ග මෝස්තර සහ කිහිපයකින් යුතු විය. ඒවායෙහි විශේෂත්වය වූයේ වර්තමාන මුදල් නෝට්ටුවලට වඩා විශාලත්වයෙන් වැඩි වීමය.

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර කපු සහ ලිනන් වැදගත් වේ. 75%ක කපු මිශ්‍රණයකට 25%ක ලිනන් ප්‍රමාණයක් එක් කරමින් රතු-නිල් කෙඳි සහිත කඩදාසියක් නිපදවා ගනු ලබයි. ලැමිනේට් කරන ලද පොලිමර් ආරක්ෂක නූලක්ද සහිතය. කඩදාසි මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන තීන්තද විශේෂිතය. ලෝකය පුරා විවිධ රටවල් සිය රටට අවශ්‍ය කරන මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය විවිධ ආයතන ඔස්සේ සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය කරන ආයතනය වන්නේ De La Rue ආයතනයයි. 1857දී තැපැල් මුද්දර නිෂ්පාදනයෙන් ආරම්භ කරන ලද එම ආයතනය 1885 සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික මුදල් මුද්‍රණ ආයතනය ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක මුදල් මුද්‍රණය සිදුවන්නේ De La Rue ආයතනය තුළය.

1917දී රුපියල් එක සහ දෙක නෝට්ටු හ¾දුන්වා දෙමින් ඉතාම අඩු වටිනාකමකින් යුතු මුදල් නෝට්ටුවල සිට මේ දක්වා ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සියලු මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීම ඔවුන් අතින් සිදුවේ.

ඉතා ඉහළ ගුණාත්මක සහ ආරක්ෂිත ආකාරයෙන් මෙහි මුදල් නිෂ්පාදනය සිදුවන

අතර වංචාකාරී ව්‍යාජ මුදල් සංසරණය වීම වැළැක්වීම සඳහා සුවිශේෂී

වූ අනන්‍ය ලක්ෂණ රාශියකින් යුක්ත ඉතාම ආරක්ෂිතව මුදල් මුද්‍රණය කිරීමට ඔවුන් වගකීම් සහගතව කටයුතු කරයි.

මුදල් මුද්‍රණය යනු පහසු කාර්යයක් නොවන්නේ සෑම අවස්ථාවකම ව්‍යාජ මුදල් සංසරණය වීමට සහ වංචනික පුද්ගලයන් මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන්නට උත්සාහ දැරීම හේතුවෙනි.

මේ දිනවල වඩාත් කතා බහට ලක්වන කාරණයක් වන්නේ ලංකා ආණ්ඩුව සිතා ගන්නට බැරි තරම් මුදල් කන්දරාවක් අච්චු ගසමින් සිටින බවය. ලංකාවට අවශ්‍ය මුදල් සියල්ල මුද්‍රණය කෙරෙන්නේ මෙම ආයතනයෙන් නම් මේ වනවිට එහි යන්ත්‍ර පැය විසිහතරේම අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. ඒවා කොතෙක්ද එය කෙසේ සිදුවන්නේද යන්න දැන ගැනීමට එම ආයතනයෙන් බොහෝ උත්සාහ ගැනුණද ඊට ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි රාජ්‍ය මුදල් මුද්‍රණය කරන ඕනෑම ආයතනයක් එහි රහස්‍යභාවය රකින්නේය. වෙනත් රටවල නම් මේ සඳහා සේවකයන් බඳවා ගන්නේද වඩාත් විශ්වාසදායී ලෙස ඔවුන් පිළිබඳව සොයා බැලීමකින් පසුවය. කෝටි ප්‍රකෝටි ගණනින් මෙන්ම ටි්‍රලියන ගණනින් මුදල් අච්චු ගැසුවත් එහි සේවය කරන්නන්ට වෙනත් රටවල නම් ඉහළ වැටුප් ලැබෙන්නේය. අවශ්‍ය පහසුකම් හා සුබ සාධන කටයුතු කෙරෙන්නේය.

ඉතා විශ්වාසදායී ලෙස ලොව පුරා මුදල් අච්චු ගහන ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතන සියල්ලෙහිම ලෝකයේ ඉතා ඉහළම මට්ටමේ තාක්‍ෂණික උපාංග හා මෙවලම් ආශ්‍රිත තාක්‍ෂණයෙන් පිරිපුන් මුදල් යන්ත්‍ර භාවිත කෙරෙයි.

“හොඳයි සල්ලි නැති අප වගේ රටකට සල්ලි අච්චු ගහන්න ගියාම පිටරටින් කඩදාසි ගන්නවත් සල්ලි නැති වුණොත් කොහොමද සල්ලි අච්චු ගහගන්නේ? කොහෙන්ද ඒ සඳහා අවශ්‍ය වටිනා කඩදාසි?”

එහෙමත් කෙනකුට අසන්නට පුළුවන. ඒවාටද විසඳුම් ඇතැයි කියැවේ. රට කොයිතරම් වැටුණත් දුප්පත් වුණත් අදාළ ආයතනය විදෙස්ගත රටක, සමාගමක් නම් ඔවුන්ට කඩදාසි හෝ ඩොලර් සපයා ගැනීමේ අර්බුදයක් පැනනඟින්නේ නැති බැව් ප්‍රකාශ වේ.

ලෝක ආර්ථිකය කෙරෙහි ඍජුවම බලපෑම් සිදුකරන කිසිසේත්ම අනවශ්‍ය දෙයක් ලෙස බැහැර කිරීමට නොහැකි මුදල් ආරක්ෂාකාරී ලෙස සහ රැවටීමකින් තොරව භාවිත කිරීමට ලැබීම සියලු දෙනාගේ අයිතිවාසිකමකි.

කලෙක දී බලවත් වෙමින් කලක දී තුට්ටුවට වැටෙමින් දෙයියන්ගේ මල්ලි පෙන්නන සෙල්ලම් නොබලා ජීවත් වන්නට ඔබට, මට කිසි කලෙකත් හැකි නොවනු ඇත. ඒ මුදල් එතරම් ජීවිතයට බද්ධ වූ අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *