ගෝඨා වෙනුවෙන් කෑමොර දුන් ‘නීලා’ පුටුව ලැබී දින කිහිපයකින් සමුගැනීම

ප්‍රවීණ ගායන ශිල්පිණී සංගීතඥ නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණීමට නියමිතව ඇත.

ඉතාලියේ මිලානෝහිදී අද (17) පෙරවරුවේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.

මියයන විට 71 වන වියේ පසු වූ නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස දැනට දින කිහිපයකට රාජකාරි අරඹනු ලැබීය.

යන්තම් මාස 6ක් සපිරෙද්දී නීලා වික්‍රමසිංහයන් රුදුරු පෝලියෝ රෝගයට ගොදුරු වනවා.

කෙසේ වෙතත් එය කිසි විටෙකත් බාධාවක් කර නොගත් මෙම ගැහැණිය ඇයගේ පළමු සරල ගීය තැටි ගත කරන්නේ 1967 වර්ෂයේදී.

ඩෝල්ටන් අල්විස් විසින් රචනා කරන ලද එම ගීතයට සංගීතය සපයා තිබුනේ ලයනල් අල්ගමයන් විසින්.

1973 වසරේ දී නීලා වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස වර්ගීකරණයට ලක් වෙනවා.

1974 වර්ෂයේදී ඇය සංගීත විශාරද පාධිය ලබාගන්නේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හදාරමින්.

පසුව සංගීත ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් ගණනාවක සේවය කරන ඇය වසර 23 ක් වූ ගුරු දිවියට සමුදෙන්නේ 1998 වසරේ දී.

සංගීත ගුරුවරියක ලෙස ඇයගේ දශක දෙකකට මඳක් වැඩි වූ සේවා කාලයේ වසර අටක් ම කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස දැයේ සුවහසක් දරු දැරියන්ට සංගීත දැනුම බෙදා දුන්නා.

චිත්‍රපට 67ක පසුබිම් ගී ගායනා කර ඇති නීලා වික්‍රමසිංහයන් ගීත 50කට ආසන්න සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය ලබාදී තිබෙනවා.

විශාරද නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවිය තුළ අවස්ථා තුනකදී හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවි සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ 1984, 1986 සහ 1992 යන වසර වලදීයි.

එමෙන්ම 1996 වර්ෂයේ දී හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට හිමි සුමති සම්මානයත් නීලා වික්‍රමසිංහ අත්කරගෙන තිබෙනවා.

සිය උදරයේ හටගත් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දරුනු ලෙස බැට කෑ නීලා වික්‍රමසිංහයන් ය එම පිළිකා මාරයා ද පරදවා ජයග්‍රහණය කරන්නට සමත් වූ අසාමාන්‍ය මානසික ශක්තියකින් හෙබි ගායිකාවක්.

සිය දීර්ඝ සංගීත චාරිකාව තුළ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ගීත ගායනා කළ ඇය ගැයූ ගී අතර දරුවෝ ඇති අම්මාලා,බෝධියේ විහාරයේ, චාමර සැලුනාවේ, ඈත දුරක දෑස පාවෙලා, මගේ ලොවට ඔබ වඩින තුරා, මේ අවන්හලේ, මිහිදුම් සළු තිර, ඔබගේ සෙවණේ, පෙම් සිලිලාරේ, පුංචි සිතේ පුංචි සිනා, රහසේ හඬනා අප හැඟුම්, රන් ටිකිරි සිනා, සූ සැට බරණින් සැරසීලා, වියෝ ගී ගැයෙනා හදේ වැනි ගීත අදටත් රසික සවන් පත් තුළ රැව් පිළි රැව් දෙනවා.

කිංකිණි සැලෙන හඬින් ගැයුණු පුංචි සිතේ පුංචි සිනා හඬ මැකී යද්දී යාළුවේ සිතින් හඬන්නෙපා යැයි කීවත් ඔබගේ වියොව නිසා ගැයෙන වියෝ ගී තවත් බොහෝ කලක් ඇසේවි.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ මිණිකිංකිණි නදට සුභ ගමන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *