ජැකලීන්ව රැවටූ සුකේෂ් ගැන ඉන්දියාව කියන කතාව

බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික සුරූපිනිය ජැකලීන් ෆර්නැන්ඩස් සහ සුකේෂ් චන්ද්‍රසේකර් අතර හුටපටය දිනෙන් දින උණුසුම් වෙයි. බැලූ බැල්මට 32 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සුවිශේෂී අයකු නොවෙයි. ඔහුට සුවිශේෂී වූ කඩවසම් පෙනුමක් ද නැත. ඔහු ඉන්දියාවේ සුපිරි නළුවකු හෝ සුපිරි තරුවක්ද නොවේ. ඒත්, මේ වනවිට ඔහුගේ කෙරුවාව ගැන නොදන්නා කෙනෙක් නොමැත.

සුකේෂ් චන්ද්‍රසේකර් යනු අපරාධකාරයෙකි. ඔහු ජැකලින් ඇතුළු නළු නිළියන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කෝටි සිය ගණනක් කප්පම් ගත් සහ ගැනීමට තැත් කළ කෝටිපති ජාවාරම්කරුවෙකි. වංචාකාරයෙකි. නළු නිළියන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් රැවටීමේ කලාවක් තිබේ නම්, එම කලාවේ ‘පිකාසෝ‘ සුකේෂ් චන්ද්‍රසේකර් යැයි ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය පවසයි.

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ බුද්ධි මට්ටම ගැන දිල්ලි පොලිසිය පවා පුදුමයට පත් වී ඇත. ඒ, දිල්ලි පොලිසිය, සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළිවුණු කරුණු කාරණා අනුවය. “මේ මනුස්සයා එක්ක විනාඩි 10 ක් කතා කළොත්, ඔබට ඔහු ගැන පැහැදීමක් ඇති වෙනවා. විනාඩි 20 ක් කතා කළොත්, විශ්වාසයක් ඇති වෙනවා. විනාඩි 30 ක් කතා කළොත් ඔබ ඔහුගෙන් උපදෙස් ලබා ගනීවි. ඔහු කියන ඕනෑ දේකට ඔබ කැමැති වේවි. සුකේෂ් චන්ද්‍රසේකර් කියන්නේ එසේ මෙසේ පුද්ගලයකු නොවෙයි” යැයි දිල්ලි පොලිසියේ එක් නිලධාරියෙක් පවසා තිබේ.

සුකේෂ් චන්ද්‍රසේකර්, කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු නගරයේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. පියා විජයාන් චන්ද්‍රසේකර් මියගියේ මෑතකදීය. උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු සුකේෂ් දේපළ වෙ​ෙළඳාම් අංශයේ රැකියාවක් කළේය. මෝටර් රථ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ සුකේෂ් බාලවයස්කාර වියේම මෝටර් රථ ධාවන තරග සංවිධානය කළේය. “ප්‍රශ්න කරද්දී අප දැන ගත්තා සුකේෂ් චන්ද්‍රසේකර් සිහින මැව්වේ ධනවත් වෙන්න. සල්ලි වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඔහුට ඕනෑ වුණේ මිලියනපතියකු වෙන්නයි.” යැයි දිල්ලි පොලිසිය කියයි.

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ එම සිහිනය සැබෑ විය. ඒත් අවාසනාවකට දැන් ඔහු සිටින්නේ සිර මැදිරියකය. සුකේෂ් චන්ද්‍රසේකර් මිනිසුන් රවට්ටමින්, මුලා කරමින් නොයෙක් මුදල් වංචා සිදු කර ඇත්තේ අවුරුදු 17 සිටය. ඒ, රජයේ නිලධාරියකු මෙන් දුරකථනයෙන් ඇමතුම් දෙමිනි. අවුරුදු 18 වීමටත් පෙර, සුකේෂ්, බැංගලෝර් සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු මෙන් පෙනී සිටිමින් ප්‍රකට ව්‍යාපාරිකයකු මුලා කරමින් ඔහුගෙන් මුදල් කඩාවඩාගෙන ඇත. සංවර්ධන අධිකාරියේ නිලධාරියා මෙන් ඇමතුම් දී මුලා කළ පුද්ගලයන් ගණන 100 කට වැඩි බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් 2007 දී සියල්ල අනාවරණය වී සුකේෂ් චන්ද්‍රසේකර් පළමු වරට අත්අඩංගුවට ගැනීම කළේ බැංගලෝර් පොලිසියයි. නිදහස ලැබූ සුකේෂ් චන්ද්‍රසේකර් ඔහුගේ වංචනික කටයුතු පුළුල් ලෙස මහා පරිමාණයෙන් ආරම්භ කළේය. ඔහු සගයන් කණ්ඩායමක් ළං කර ගත්තේය. පොලිසිය ඉන්පසු අවස්ථා ගණනාවකදී සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගත්තත්, ඔහු ඇප මත නිදහස් විය. ඇප මත නිදහස් වුණු සැණින්, ඔහු යළි ඔහුගේ වංචනික කටයුතු ආරම්භ කළ බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි.
සුකේෂ් චන්ද්‍රසේකර් බොලිවුඩ් සිනමාවට ඇලු‍ම් කළ අයෙකි. ඔහු බොලිවුඩ් නළු නිළියන් වංචනික ලෙස රවටා ඔවුන්ට ළං වී පසුව ඔවුන් බ්ලැක්මේල් කරමින් මුදල් කඩා ගැනීම ආරම්භ කළේ 2010 වසරේ සිටය. සුකේෂ්ගේ චාටු බස්වලට හසුවුණු එක් සුරූපිනියක වන්නේ ජැකලීන් ෆර්නැන්ඩස් ය. මේ වනවිට සුකේෂ් චන්ද්‍රසේකර් පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ නම ගිය අපරාධකරුවකු ලෙසය. ඔහු නිළි ජැකලීන් ෆර්නැන්ඩස් රැවටූ අයුරු අද වනවිට ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වී ඇත. පසුගිය අගෝස්තු 8 වැනිදාත්, ඉන්පසු ඔක්තෝබර් 10 වැනිදාත් අපරාධ විමර්ශන නිලධාරීහු ජැකලීන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධයෙන් චෝදනා ගොනු කරද්දීය.

ප්‍රශ්න කිරීම්වලදී තමන් ජැකලීන්ට ලක්ෂ ගණනින් මෙන්ම කෝටි ගණනින් ද වියදම් කළේ යැයි සුකේෂ් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට පවසා තිබේ. ඒ ගැන ඇත්ත නැත්ත තහවුරු කර ගැනීමට නිලධාරීන් ජැකලීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවී ඇත්තේ ඉන්පසුවය. එහිදී අනාවරණය වී ඇති කරුණු අනුව, ජැකලීන් පවසන ආකාරයට ඇය සුකේෂ් චන්ද්‍රසේකර් හමුවී ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර් ලෙස නොව ශේඛර් රත්නවෙලා යන නමිනි. සුකේෂ් චන්ද්‍රසේකර් බොරු නමකින් ජැකලීන් වසඟයට ගත්බව පැහැදිලිය. එය සිදුවී ඇත්තේ මෙසේය. 2020 දෙසැම්බරයේත් ඉන්පසු මෙම 2021 ජනවාරියේත් සුකේෂ් චන්ද්‍රසේකර්, ජැකලින් ෆර්නැන්ඩස් ට ළං වීමට අවස්ථා කීපයකදී උත්සාහ ගෙන ඇත. ඒත් ජැකලීන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි.

අවසානයේ දී, ජැකලීන්ගේ වේශ නිරූපණ ශිල්පියා වන ෂාන් මුත්තාතිල්ගේ දුරකතන අංකයට ඇමතුමක් දීමට සුකේෂ් සමත් විය. තමන් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිංගේ කාර්යාලයෙන් ඇමතුම ලබා දෙන බව සුකේෂ් එම අවස්ථාවේදී පවසා තිබේ. තමන්, තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාගේ දේශපාලනික පවුලේ සාමාජිකයකු බවත්, ජැකලීන් ෆර්නැන්ඩස් සමඟ කතා කිරීමට තමන්ට අවශ්‍ය බවත්, සුකේෂ් බොරු කියා තිබේ. දේශපාලනික සම්බන්ධයක් ඇත්තකු නිසාත්, ස්වදේශ කටයුතු අමත්‍යාංශය හරහා තමන් සමඟ සම්බන්ධ වූ නිසාත්, ජැකලීන් සුකේෂ්ට රැවටුණාය. ඇයට ශේඛර් රත්නවෙලා (සුකේෂ් චන්ද්‍රසේකර්) නමැත්තා හමුවූයේ ඒ අනුවය.

ශේඛර් රත්නවෙලා, ජැකලීන් වසඟයට ගනිමින් පවසා ඇත්තේ, තමන් ඇයගේ ආදරණීය රසිකාවියකු බවත්, ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවත්ය. ශේඛර් රත්නවෙලා (සුකේෂ් චන්ද්‍රසේකර්) වංචාකාරයකු යැයි තමන්ට සිහිනෙකින්වත් නොසිතුණු බව ජැකලීන් අපරාධ විමර්ශන නිලධාරීන්ට පවසා ඇත. ශේඛර් රත්නවෙලා, ජැකලීන්ට ජනප්‍රිය වෙ‍ළෙඳනාමවල මිල අධික ඇඳුම්, පාවහන්, බෑග් ආදිය තෑගි කර ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත. දියමන්ති කරාබු, මාල වළලු‍ ආදිය පමණක් නොව සැප මෝටර් රථ ද ඒ අතර වෙයි. මිනිකූපර් රථයක්ද ඔහු ජැකලීන්ට තෑගිකර ඇති නමුත්, ජැකලීන් එය ප්‍රතික්ෂේප කළ බව පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *