හැමෝම හොයන ආදරණීය නර්තන ගුරුවරයා ..

 

අප කතා නායකයා ගාලු දිස්ත්‍රික්කයට අයත් ඉමදුව ග්‍රාමයේ මහගෙදර වත්ත වල්පල පදිංචි ගුණරත්න යාපා ගැමුණුවංශට හා චාන්දනී ලියනගේට දාව පවුලේ තුන්වැනි දරුවා ලෙස 1991 අගෝස්තු මස 20 වැනිදා මෙලොව එළිය දුටුවේය. මාපිය දෙපළ අලුත උපන් දරුවාට දමිත් නිලංග යැයි නම් තැබීය. ඔහුට වැඩිමහල් සොහොයුරන් දෙදෙනකු හා එක් බාල සොහොයුරියක වේ.

වයස අවුරුදු තුන පසුවෙනවාත් සමඟ නිලංග ඉමදුව වාඩිය වත්තේ සඳුන් විහාරයේ පවත්වාගෙන ගිය පෙර පාසලට ඇතුළත් කළේය. කුඩා වියේ සිටම නිලංග නර්තනයට දක්වන සහජ හැකියාව කෙරෙහි පෙර පාසලේ මුල් ගුරුවරිය වූ අශෝකා ගුරුතුමියගේ අවධානය යොමු විය. ඇය මේ අපූර්ව නර්තන හැකියාවැති කුඩා දරුවාට එය ඔප්නංවා ගැනීමට අනුබල දුන්නාය. පෙර පාසලේ පැවති උත්සව අවස්ථාවලදී ඕ සෑම විටකම නිලංගට අවස්ථාව හිමිකර දුන්නාය. වේදිකාව නිලංගට කුතුහලයෙන් පිරි නුහුරු නුපුරුදු ස්ථානයක් නොවුයේ ඇගේ මේ උත්සාහය නිසාය.

එසේවුවද අගහිඟකම්වලින් පිරුණු ජීවිතය බොහෝ දුෂ්කර විය. මවුපියන් රබර් කට්ටියේ වැඩට ගොස් සොයාගන්නා සොච්චම් මුදලින් පවුලේම දිවි රැකගත්තෝය. එතකුදු වුවත් නිලංග ඉගෙනුමට සහ නර්තනයට දැක්වූ දක්ෂතාව දුෂ්කරතාවලින් යට වීමට ඉඩ නොදුන්නේය. බටේමුල්ල ජාතික පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ නිලංග හයවැනි ශ්‍රේණියේදී සිය ස්ථීර සෞන්දර්ය විෂයය ලෙස නර්තන විෂය තෝරා ගත්තේය. එහිදී ඔහුගේ නර්තන ගුරුවරිය වන්නේ රසිකා වික්‍රමාරච්චි ගුරුතුමියයි. ඇය නිලංගගේ හැකියාව හඳුනාගන්නා අතර, එය ඔප්නැංවීමට විශාල පිටුබලයක් ලබා දුන්නාය. ක්‍රමයෙන් නර්තන විෂය ප්‍රගුණ කරන නිලංග පාසලේ කලා උලෙළවල්, විවිධ ප්‍රසංග සහ උත්සව අවස්ථාවලදී සිය

හැකියාව ඉතා සිත්ගන්නා අයුරින් ඉදිරිපත් කළේය. ඒ වෙනුවෙන් ප්‍රශංසා මෙන්ම ඇතැමුන්ගෙන් උසුළු විසුළු හා ගැරහුම් ලැබුණද නිලංග තම නිසඟ හැකියාව අත් නොහැරියේය. ඔහුගේ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනා සහ

මිතුරිය වන ක්‍රිෂාන්, ලක්ෂාන් හා හසිනි ඒ සෑම අවස්ථාවකදීම නිලංග දිරිමත් කරමින් ඔහුට ශක්තියක් විය. ඔවුන් සැමවිටම නිලංගට කීවේ “උඹට පුළුවන්; උඹ බයවෙන්න එපා; උඹත් එක්ක අපි ඕන දෙකට ඉන්නවා” කියාය.

අද තොවිල්, පත්තිනි නැටීම, කළුකුමාර සමයම ආදී ශාන්තිකර්ම දැකීම දුෂ්කර වුවත් කලකට පෙර ඉමදූව, අහංගම ග්‍රාමයන් මෙම ශාන්තිකර්මවලට ප්‍රසිද්ධය. ඒවා වියැකි ගොස් ආරම්භ වූ දේවාල ඕනෑතරම් අදත් එහි දැකගත හැකිය. ඉමදුව ග්‍රාමයේ උපන් දමිත් නිලංගට ද කුඩා වියේදීම මේ ශාන්ති කර්ම දැකබලා ගැනීමට හැකි විය. ඒවා සජීවීව දුටු අවසාන පරම්පරාව තම පරම්පරාව විය හැකි බව නිලංග ඉතා සංවේදීව සිහිකළේය.

“ඇත්තටම මං දන්නේ නැහැ. මට මේ තරම් එනර්ජි එකක් එන්නේ ‍කොහොමද කියලා. මං පොඩිකාලේ දැකපු දේවල් මට ඇහුණු දේවල් මට බලපාන්න ඇති. මට හීනෙන් වගේ මතකයි තොවිලයක් බැලුවා. එතකොට මං පුංචියි. ඒ දැකපු වෙස් මූණු එක්ක බියමුසු හැඟීමක් තිබුණට මොකක්දෝ අමුතු ආස්වාදයකුත් දැනුණා. යක්බෙරේ හඬ දවුල, තම්මැට්ටම, නලාව මේවා හීන ලෝකෙන් ඇහෙනවා වගේ. මං අදත් තාලයට පාද තියන්නේ නිරායාසයෙන්. මගේ රිද්මය මගේ ඇඟෙන්ම එන එකක්.”

ඔහු කියන්නේ උද්යෝගයෙනි. දහවැනි ශ්‍රේණිය සමත්ව එකළොස්වැනි ශ්‍රේණියට පැමිණීමත් සමඟ නිලංග ගේ ජීවිතයෙන් කඩඉමක් සනිටුහන් විය. ඒ උපමාලිකා, රෝෂිණි, බෝධිනී සහ නදීශා කුමාරි නම් ගුරුවරියන් නිලංගගේ ජීවිතයට පැමිණීමය. මේ අය අතරින් කේ.ජී. නදීශා කුමාරි ගුරුතුමිය විශේෂය. මෙතෙක් අමාරුවෙන් රැකගෙන ආ හැකියාවට වඩාත් සියුම් හා නර්තනීය රිද්මය මුසුවන්නේ එතැන් සිටය. එමෙන්ම එය නිලංගගේ ජීවිතයේ අසීරුම කාල පරිච්ඡේදය ද විය. නව යොවුන් වියේ පසුවන මේ ප්‍රියමනාප තරුණයා නර්තනය සමඟ යන ගමන දෙස ඇතැමුන් බැලුවේ වපර ඇසිනි. ඒවායින් කඩා වැටීමට තිබූ නිලංගගේ ගේ ජීවිතය ඒ නපුරු මනෝභාවයන්ට බිලිවීමට ඉඩ නොදී ව්‍යර්ත කරන්නට නදීශා ගුරුතුමිය සමත් වූවාය. නිලංග ඒ මතක අවදි කළේ මෙලෙසිනි.

“මගේ අම්මා තාත්තා ගාවට මට මගේ හෙවණැල්ල වගේ හිටියේ නදීශා කුමාරි ගුරුතුමියයි. මං මේ වනතෙක් යම් දුරක් ආව නම් ඒ ඇගේ මෙහෙයවීම නිසයි. මොන ප්‍රශ්නය ආවත් ඇය කවදාවත් මට වැටෙන්න දුන්නෙ නැහැ. ඒ හැම තැනකදීම මාව ආරක්ෂා කළා; මාව සැනසුවා; මං ගැන සොයා බැලුවා, ඇත්තටම ඇය නැත්නම් මම අද මෙතන නැහැ. ඒ වගේ ගුරුවරු ගුරුවරියෝ අද මේ රටේ නැහැ කියන්නේ නැහැ; හැබැයි හරිම අඩුයි. ඇය හැම විටම මගේ හැකියාව මත විශ්වාසය රඳවගන්න කමටහන් දුන්නා. ඒ ගමනේ ප්‍රතිඵලය තමයි රටක් අඳුනන හදවතේ ගුරුවරයකු වෙන්න ලැබීම. එදා ඈ මගෙන් බලා පොරොත්තු වුණ ඒ දේ මට ඉෂ්ට කරන්න හැකිවී තියෙනවා. ගුරුවරු කියන්නේ මොනවගේ කෙනෙක්ද කියල මං ඉගෙන ගත්තේ ඇගෙන්. එනිසා සැබෑ ගුරුවරියකට ගුරු පඬුරු පුදන්න මමත් සැබෑම ගුරුවරයෙක් වුණා. අද මට මම ගැනම තියෙන්නේ ලොකු සතුටක්. ”

2010 වසරේ අපොස උසස් පෙළ සඳහා කලා විෂයන් තෝරාගන්නා නිලංග ඊට සිංහල, භූගෝල විද්‍යාව හා නර්තනය යන විෂයන් එක්කර ගත්තේය. හොඳින් අධ්‍යයන කටයුතුවල නිරත වී විභාගයට පෙනී සිටියද ඔහුට පළමු වර සරසවි වරම් හිමි නොවේ. එහෙත් දෙවැනි වාරයේ ඔහුට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞන්දර්ය විශ්වවිද්‍යාලය වන ශ්‍රී පාලි සෞදර්ය විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබුණද ජීවිතයේ නොසිතූ වීරූ ලෙස පැමිණි දුක් කම්කටොලු නිසා ඔහුට විශ්වවිද්‍යාලයට යාමට හැකිවන්නේ නැත. පසුව ඉමදුව සංස්කෘතික මධ්‍යස්ථානයට බැඳෙන නිලංගට එහි දී ධම්මික ජයලත් නර්තනාචාර්යවරයා හමුවේ. ඔහුගේ ගුරුහරුකම් යටතේ උඩරට නර්තනය හදාරන අතර එහිදී වෙස්තැබීමට ද නිලංගට භාග්‍ය උදාවේ.

මේ අතරතුර තමන් අතින් ගිලිහී ගිය උපාධිය ලබා ගැනීමට සිතන නිලංග කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වී කලා උපාධිය(2012 -2013) ලබාගෙන අනතරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේය. එහි නර්තන ඩිප්ලොමාව හදාරන නිලංග 2016 වසරේ එය නිමා කිරීමෙන් පසු 2019 වසරේ නර්තන ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබ මාතර උරාපොළ රතනජෝති විද්‍යාලයට පැමිණෙන්නේය. එහිදී තම වයසේම පසුවන ගුරුවරුන් තිදෙනකු ඔහුට මුණ ගැසේ. ඔවුන් නිලංග හා ඉතාම උද‍්යෝගයෙන් වැඩ කරන අතර , විවිධ කලා උත්සව සංවිධානය කරමින් පාසලේ දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගැනීමට වෙහෙසෙන්නේය.

නිලංග තුළ ඇති පරහිතකාමී අවංකව හැඟීම නිසාම ඔහු පරගොඩ ප්‍රාථමික පාසලෙ දරුවන්ට ද නර්තනය ඉගැන්වීමට වෙහෙසෙන්නට විය. එහි නාට්‍ය කණ්ඩායමක් ආරම්භ කරන නිලංගට හීනෙකින්වත් නොසිතූ මේ මහඟු අවස්ථාව උදාවන්නේය.

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පොසොන් කලාපයක් පැවැත්වීමට ගමේ සියලු දෙනා එක්ව සිටියෝය. එහිදී පරගොඩ ප්‍රථමික විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායමට ද අවස්ථාවක් උදාකර දී තිබුණි. පොසොන් බැති ගී ගායනයෙන් අනතුරුව නාට්‍ය කණ්ඩායමේ අවස්ථාව උදාවිය. තම දු දරුදැරියන් විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ කිසියම් වික්සිප්ත භාවයක සිටිනු නිලංග දුටුවේය. වාදනයත් සමඟ ඔවුන් නර්තනය ආරම්භ කළේය. ඒ අතර වේදිකාව අසල සිටි ගුරුවරයා ද දරුවන්ට ඉදිරියෙන් සිටිමින් නර්තනයේ යෙදෙන්නට විය. මෙය දුටු ඔහුගේ හිතවතකු තම ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කළේය. පසුව ඉන් සැකසූ වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා මුදා හළේය. එය ඉතා කෙටි කාලයක් ඇතුළත මිලියන තුනකට අධික පිරිසක් නරඹා තිබූ අතර එය මුහුණු පොතේද හුවමාරුවීමට පටන් ගත්තේය. එලෙසිනි. ඒ පිළිබඳ නිලංග පැවසුවේ මෙවැන්නකි.

“වේදිකාවට ගොඩවෙනකම්ම මං දරුවන් දිහා බලාගෙන හිටියේ. ඒ අයට අමතකවෙයි කියල මට හිතුණා. ඉතින් මං පහළ ඉඳගෙන දරුවන්ට පේන්න නැටුවා. මේක මුදිත මල්ලී වීඩියෝ කරලා ටික් ටොක් වීඩියෝ එකක් විදියට මුදාහැර තිබුණා. ඒක වේගයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. දවස් කිහිපයක් ඇතුළත ලක්ෂ තිහකට වැඩි පිරිසක් ඒක බලල තිබුණා. මට මුහුණුපොතේ මිතුරන් ලෙස එකතු කරගන්න ආරාධනා විශාල වශයෙන් ආවා. මගේ දුරකථන අංකය හොයාගෙන රටේ හැම තැනින්ම කතා කළා. ඒ අය කියනවා හරිම ලස්සනයි ඔයා දරුවන් එක්ක ඉන්න විදිය. අපිත් හොයන්නෙ ඔයා වගේ ගුරුවරයෙක් කියලා. මේ වනවිට රට වටේම ක්ලාස් කරන ආයතනවලින් මට ආරාධනා ලැබී තිබෙනවා. මවුපියන් කතා කරලා ඔවුන් ඉන්න ප්‍රදේශවලත් පන්ති පටන් ගන්න යනවා. මට හරිම සතුටුයි; මනුස්සයෙක්ගේ පොඩි අඩුපාඩුවත් දැක්කාම හැම මොහොතකම අපහාස උපහාස කරලා වට්ටල නැති කරන සමාජයක මිනිහෙක්ගෙ දක්ෂකමක් දැක්කම අගේ කරන්න මිනිස්සු පෙලඹුණු එක ගැන. ”

එදා රඟදැක්වූ නාට්‍යය දරුවන්ට පුහුණුවීම් කරන අවස්ථාවක ගත් තවත් වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යට එක් වූ අතර එය ද වේගයෙන් සංසරණය වෙමින් ලංකාව පමණක් නොව ලෝකයක් දන්නා නැටුම් ගුරුවරයකු බවට දමිත් නිලංග පත්වෙමින් තිබේ.

“මා මේ ගමන එද්දි මට නම් වශයෙන් නොකිව්වත් ගොඩක් අය උදවු කළා. ඒ අය අතර බටේමුල්ල ජාතික පාසලේ විදුහල්පතිතුමා දෙපා නැමද සිහිපත් කරනවා. දරුවෙක් කුඩා කල ඉඳන්ම එකම පාසකට යන්න තියෙනවා නම් හොඳයි. මොකද ඔහු හෝ ඇයගේ දක්ෂතා නිරීක්ෂණය වෙනවා. ඒකෙන් මේ රටට දක්ෂතා ඇති තරුණ තරුණියෝ නිර්මාණය වෙනවා. ඒකට අවංක ආදරණීය හදවතක් තියෙන ගුරුවරු ඕන. එවැනි ගුරුවරයකුට රටක් නෙමෙයි ලෝකයක් දිනන්න පුළුවන්.

ඒ නිසා මං ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ තමන් කරන රැකියාව පැය අටක නිකන් ජොබ් එකක් කියලා හිතන්නෙපා. ඔබ මේ රටේ අනාගතය නිර්මාණය කරන ක්‍රියාවලියටයි දායක වෙන්නේ. ඒ නිසා ඊට අවංක වෙන්න. අවංක හොඳ ගුරුවරයෙක් වුණොත් එයාට ලෝකයක් දිනන්න පුළුවන්.

ඒ නිසා ඔබත් අවංක හොඳ ගුරුවරයෙක් වෙන්න.”

මෙවැනි අවංක ආදරණීය හිතක් හිමි තවමත් තිස් වැනි වියේ පසුවන තරුණයකු වන ඔහුගේ සිත ගත් ඇය ගැන ද මම විමසුවෙමි.

“ ඇත්තමයි මට තවම එහෙම කෙනෙක් නැහැ. මං තාම ඒ ගැන හිතල නැහැ. දැන් ගොඩක් අය එන්නේ මගේ ජනප්‍රියත්වයත් එක්ක. නමුත් මං හොයන්නේ මගේ ජනප්‍රියත්වය නැති වුණත් පොළවේ පය ගහල ඔට්ටු වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙම කෙනෙක් මේ කාලේ හම්බ වෙන එකක් නැහැ. අනික මට හදිස්සියක් නැහැ. ඒකට තව ගොඩක් කල් තියෙනවා. මට දැන් වගකීම් වැඩිවෙලා; විශේෂයෙන්ම මවුපියන්ගෙ ඉල්ලීම් අහක දාන්නත් බැහැ; ඒ නිසා ඉදිරියේදි කරන්නත් ගොඩක් වැඩ තියෙනවා. තව ටිකක් පරක්කුවෙලා ආදරේ ගැන හිතනවා”
(මූලාශ්‍රය – සිළුමිණ පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *