සාරියක් පටලවාගෙන ‘වැලිපර මතින් රිය ධාවනයේ යෙදුණු කාන්තාව’ කවුද කියා දන්නවා ද ?

වැලිපර මතින් රිය ධාවනයේ යෙදුණු කාන්තාවක් ගැන පසුගිය සතිය පුරාවටම බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා.

ඇය පද්මලතා අබේසිංහ. සාරියක් පටලවාගෙන පිරිමින් එක්ක, එහෙමත් නැත්නම් ඇමැතිවරු පිරිසක් එක්ක හරි හරියට රිය ධාවනයේ යෙදුණු මේ ගැහැනිය සොයාගෙන අපි මහ දහවල් පෝර්ට් සිටි භූමියට ඇතුළු වුණා.

“ආයුබෝවන් …. එන්න …. එන්න….”

බොහොම සුහදශීලී විදිහට අපේ කතා නායිකාව අපිව පිළිගත්තේ උදේ‍යාගිමත් ස්වරයකින් යුතුවයි.

ඇත්තටම කිව්වොත් මේ වැලිපර මත රිය ධාවනය කළ කාන්තාව අපේ මාධ්‍ය හිත මිතුරන්ට නම් අලුත් චරිතයක් නෙවෙයි. මොකද ඇය කාලෙක ඉඳලම ජාතික රූපවාහිනියට සම්බන්ධව ඉතා වැදගත් පාරිසරික වැඩසටහනක් කරනවා. ඒ Wild Asia වැඩසටහන. 2004 වර්ෂයේදී ආරම්භ වූ මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ අරුන් ඩයස් බණ්ඩාරනායක කියන මාධ්‍ය දැවැන්තයා. අපේ කතා නායිකාව ඒ වැඩසටහන අධ්‍යක්‍ෂණය කරනවා. ඒ වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

සතා සිවුපාවුන්ගේ ආරක්‍ෂාව හා ගස් වැල්වලට ආදරය කිරීමේ වගකීම සහ ඕනෑකම තමයි මේ තුළින් ඔවුන් පෙන්වා දෙන්නේ.

“හරි …. දැන් අපි මේ වැලිපර ධාවන පථය එහෙමත් නැත්නම් මේ ඇඩ්වෙන්චර් (Adventure) පථය ගැන කතා කරමු.” අපි පද්මලතා අබේසිංහ මහත්මියගෙන් විමසා සිටියා.

“ඇත්තටම මේ ඇඩ්වෙන්චර් පථය අපි ගොඩනැඟුවේ අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාවේම ඉන්න සංචාරකයන් වෙනුවෙන්.” මොකද මෙහෙම වැලිපර ධාවනයක, එහෙමත් නැති නම් ක්‍රීඩාවක නිරත වෙන්න නම් ඊට කැමැති අය ඩුබායි වගේ රටකට, එහෙමත් නැත්නම් කාන්තාර පිහිටි භූමියකට යන්න ඕන. ඉතින් ඒ අඩුව මම අධ්‍යක්‍ෂවරිය හැටියට කටයුතු කරන Create Adventure සමාගම පුරවන්න භාර ගත්තා. අවුරුද්දක් වගේ කාලයක් ඒ වෙනුවෙන් කාලය ගත කළා. පසුගිය ඔක්තෝබර් 28 වැනිදා තමයි මේක අපි විවෘත කළේ.”

“මේ විවෘත කිරීමේ අවස්ථාවට තමයි ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට නාමල් රාජපක්‍ෂ මහතා සහ සංචාරක කර්මාන්තය භාර ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වුණේ. ඒ වගේම මම පවිත්‍රා වන්නිආරච්චි මැතිනියටත් ඇරයුම් කළා. ඒ කාන්තාවක් හැටියට ඇය තුළත් තිබෙන ශක්තිවන්තභාවයට ගරු කරලා.”

“කොහොම හරි මෙන්න මේ උත්සව අවස්ථාවෙන් පසුව තමයි රටම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ.” ඇය සිනාසෙමින් කිව්වා.

පෝර්ට් සිටි ව්‍යාපෘතියත් සමඟ බොහෝ ව්‍යාපාරිකයන් උත්සාහ ගන්නේ සංචාරක පුරවරයක් හැටියට සැලකෙන මේ ස්ථානයේ කිසියම් හෝ ව්‍යාපාරික කටයුත්තක් අරඹන්න. ඒ අනුව තමයි පද්මලතා අබේසිංහ මහත්මිය ඇරඹූ මේ ව්‍යාපෘතියටත් මඟ පෑදෙන්නේ.

“අපි මේ ඇඩ්වෙන්චර් වැඩවලට ආධුනික නැහැ. අපි අවුරුදු කිහිපයක සිට ගම්පහ, වතුරගම පාරේ මාලිගාතැන්න ප්‍රදේශයේ අක්කර 40ක භූමියක ඇඩ්වෙන්චර් පාක් එකක් පවත්වාගෙන යනවා. පසුගිය කොවිඩ් වසංගත කාලයේ එතැනට එන ජනතාව අඩු වුණත් බොහෝ දෙනා මේ පාක් එක ගැන දැන සිටිනවා.”

“මේ පාක් එකට එන අයට පා ගමනින් ගිහින් සතා සිවුපාවන්ගෙන් වගේම ගස් වැල්වලින් ලබන සුවය උපරිමයෙන්ම ලබාගත හැකියි. ඒ වගේම කඳු පල්ලම්වල නැඟලා බැහැලා අවසන් කරන ගමනාන්තයෙන් වෙනම ආකාරයේ අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඊට අමතරව මේ වගේ වාහනයක ගමන් කරනවා නම් ඒ පැයක පමණ ගමනක්. ඒක ඇත්තටම විනෝදකාමී අත්දැකීමක්.”

“ඉතින් මේ හුරුව අපිට තිබෙන නිසා තමයි මේ වැලිපර ධාවන පථයක් හදන්නත් අපි සැලසුම් කළේ.”

පද්මලතා මහත්මිය පවසන ආකාරයට මේ ප්‍රදේශය අක්කර 5ක පමණ ප්‍රදේශයක් පුරා ආවරණය වන ධාවන පථයක්. ඒ සඳහා වාහන 8ක් සූදානම් කොට තිබෙනවා. ට්‍රැක් තුනකින් සමන්විත මේ ධාවන පථය ගැන තවත් විස්තර ඔබට කියනවා නම් මෙන්න මෙහෙමයි.

“අපි කිව්වනේ මේ ධාවන පථය ඩුබායි රාජ්‍යය එහෙමත් නැත්නම් කාන්තාර ඇති රටවල තිබෙන වැලිපර ධාවන පථයක් වගේම ගොඩනඟන්න වුවමනා වුණා කියලා.”

“ඒකට අවශ්‍ය වැලි නම් අපිට ඕනෑ තරමට මේ ජැටිය තුළ තිබුණා. පෝර්ට් සිටියට සම්බන්ධ ප්‍රධාන සමාගම ඒ සඳහා අපිට ලොකු සහයෝගයක් දැක්වූවා.”

“ඉතින් හොඳ ප්‍රමිතියකින් යුතුව මේ ධාවන පථය අපි හැදුවා. ඒකට මගේ මහත්තයා අනුර වගේම පුතා රනුක් ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඔහු කථිකාචාර්යවරයෙක් විදිහට විදෙස් රටක සේවය කරනවා. සංචාරක ව්‍යාපාරයට ඔහුත් ඉතා ළැදියි.

ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වගේ ATV ධාවන පථයක් හදන්න මූලික වුණේ ඇත්තටම සංචාරක ව්‍යාපාරයට දෙන අත්වැලක් හැටියටයි.”

මේ භූමිය අක්කර 5කින් සමන්විත බව අපි ඔබට මුලදී කිව්වා. ඉතින් ඒ විශාල වැලි කඳු ජැටිය තුළ රිය ධාවනය කරන්න එහෙමත් නැති නම් මේ ක්‍රීඩාවේ යෙදෙන්න පැමිණෙන අයට මුලින්ම ලැබෙන්නේ සැහැල්ලුවෙන් රිය ධාවනය කළ හැකි මාර්ගය. ඉන් අනතුරුව ලැබෙන්නේ “පෝර්ට් සිටි” අකුරු පිළිවෙළට සකස් කර ඇති වැලිපර ධාවන පථය. ඊටත් පස්සේ ලැබෙන තුන්වන අදියර නම් පහසු නැහැ. කඳු පල්ලම් හා වැඩියෙන් වාහන සහිත බාධක වැඩි මේ මාර්ගයේ ගමන් කරන්න නම් දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි.

“අපි රිය පදින්න හැමෝටම අවසර ලබා දෙන්නේ නැහැ. වයස අවුරුදු 18 වැඩි රියැදුරු බලපත්‍ර ලබා තිබෙන අය විය යුතුයි. එහෙම නැති අයට රිය පදවන කෙනාගේ පිටුපස වාඩි වී ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්.”

“මම හිතන්නේ මේ අත්දැකීම වචනවලින් විස්තර කරලා කියනවට වඩා හොඳයි ලබාගන්න එක. ඔයගොල්ලෝ ඒක ලබාගෙනම පත්තරේට ලියන්නකෝ.” පද්මලතා අබේසිංහ මහත්මිය එහෙම කියලා අපිටත් ආරාධනා කළා වැලිපර ධාවන පථයේ රවුමක් යන්න.

තවත් මොහොතකින් අපිත් සෞඛ්‍ය ආරක්‍ෂක පිළිවෙත් වගේම අනතුරුවලින් ආරක්‍ෂා වන පිළිවෙත් අනුගමනය කරලා Can – am කියන කැනඩාවේ නිෂ්පාදිත මේ රෝද හතරේ වාහනයට ගොඩ වුණා.

ඒක ඇත්තටම පුදුමාකාර අත්දැකීමක්. ඒ අත්දැකීම අපි වැඩි කලබලයක් නැතිව ලබා ගත්තේ හරිම කල්පනාවෙන් යුතුවයි.

ගමන පටන් ගන්නා ස්ථානයේ සිට රිය ධාවනය කරන්න පටන් ගන්න කොටම වැලිකඳු හා වැලි ධාවන පථය නිසා පුංචි තිගැස්සීමක් ඇති වෙනවා. නමුත් මීටර් 100ක් පමණ ගියාට පස්සේ ටිකක් ඒ බිය තුරන් වෙනවා. හැබැයි අපි මේ රිය පැදෙව්වේ නම් හරිම හෙමින්.

“කොහොමද ගමන ….” අපි ගමනාන්තයට එද්දී පද්මලතා මහත්මිය හිනාමුසු මුහුණින් ඇහුවා. “ඒක නම් මාර අත්දැකීමක්” අපි කිව්වා.

“සංචාරකයෝ මෙතැනට එන්න පටන් ගත්තහම මෙතැන අමුතුම ඇඩ්වෙන්චර් පාක් එකක් වේවි. ඒ වගේම ලොකු ආදායමක් රටට ලැබේවි. අපේ අරමුණත් ඒ වාසිය රටට ගේන්නයි.”

“අද වෙද්දී මේ ATV අත්දැකීම එහෙමත් නැති නම් වැලිපර ධාවන පථය දේශීය සංචාරකයන්ටත් විවෘතයි. ඒ නිසාම දැනටමත් දුර පළාත්වල ඉඳලා සංචාරකයෝ මේ භූමියට ඇදෙනවා.” පද්මලතා අබේසිංහ මහත්මිය පවසනවා.

සාමාන්‍යයෙන් අපේ රටේ ඇඩ්වෙන්චර් එහෙමත් නැති නම් මේ වගේ ක්‍රියාදාම ක්‍රීඩාවලට ළැදි බොහෝ පිරිසක් ඉන්නවා. මහා විශාල කඳු නැඟගෙන ගිහින් ඒ කඳු තරණය කොට අමුතුම විදිහේ පරිසර ආස්වාදයක් ලබන අය වගේම රිය ධාවනය කරමින් එහෙමත් නැත්නම් පාපැදි හා මෝටර් සයිකල් උපයෝගි කරගෙන සංචාරය කරන්නන් බහුලයි. ඉතින් ඔවුන් අතර ඉන්න මේ වගේ අත්දැකීම් ලබාගන්න කැමැති අයටත් මේ ATV ධාවන පථය ඉතා සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන තැනක් වේවි.

දැන් ඔබ ගැනත් අපිට කියන්න. මේ වගේ ක්‍රීඩාවලට ඔබත් කැමැතිද ඇය අපේ ප්‍රශ්නය හමුවේ මුලින්ම හොඳ සිනහවකින් සංග්‍රහ කළා.

“මම ක්‍රීඩාවට හුඟක් කැමැතියි. මම ක්‍රීඩා උපදේශිකාවක් විදිහටත් කටයුතු කොට තිබෙනවා. මම ගුරුවරියක්. හැබැයි මම සාම්ප්‍රදායික කාන්තාවක් නෙවෙයි. අලුත් විදිහට හිතනවා. නමුත් පරණ හොඳ දේ අමතක කරන්නේ නැහැ. අපේ දේ අහක දමන්නේ නැහැ. පරිසරයට, ගහට, කොළට හානි වෙන දේවල් කරන්නෙත් නැහැ. දේශීය දේ රැකගන්න කළයුතු දේ කරන්න පැකිළෙන්නෙත් නැහැ. මොකද අපි මේ රටට ආදරෙයි.”

පද්මලතා අබේසිංහ මහත්මිය අපේ කතාබහ ඔය විදිහට මෙහෙම සුහදව අවසන් කළා.

වැලිපර ධාවන පථය පසුකරමින් අපේ වාහනය නැවතත් කාර්යාලය බලා ඇදුණා. ඒක ඇත්තටම ලස්සන පරිසරයක්. ඒ පරිසරය තුළ සිට ගොඩබිම දිහා බැලුවත්, මහ මුහුද දිහා බැලුවත් පෙනෙන්නේ අමුතුම විදිහෙ සුන්දරත්වයක්. ඒ සුන්දරත්වය පෝර්ට් සිටිය සම්පූර්ණයෙන්ම විවෘත වුණාට පසුව කොයි විදිහට පෙනෙයිද කොයි විදිහයට දැනෙයිද කියන්න නම් අපි තවමත් වේලාසන වැඩියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *