ෂේන් වෝන් උපහාර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද

සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ තරගය මෙයට තෙමසකට පෙර සදහටම සමුගත් සුපිරි දඟ පන්දු ක්‍රීඩක ෂේන් වෝන් මහතාට උපහාර පිණිස නම් කොට ඇත. එබැවින් තරගය ආරම්භයේදී ෂේන් වෝන් මහතා සිහි කරමින් සමාචාර කිරීමට ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටිති.

තරගය ආරම්භයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් ෂේන් වෝන් මහතා අනුස්මරණය කරමින් මිනිත්තු කිහිපයක ඉතාම කෙටි දේශනයක් පැවැත්වීමට නියමිත අතර, අනතුරුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නික් හොක්ලේ මහතා වෙත ෂේන් වෝන් මහතා වෙනුවෙන්ම නිර්මාණය කළ සිහිවටන ඵලකය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අතින් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මේ සිහිවටන ඵලකය පසුව ෂේන් වෝන් මහතාගේ බිරිය ඇතුළු පවුල වෙත භාරදීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක හොක්ලේ මහතා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනප්‍රිය පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතාට කැප කොට ඇති බැවින් තරගය නැරැඹීමට ෂේන් වෝන් මහතාගේ පවුලේ උදවියට ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ‘දිනමිණ‘ට පැවැසීය. එබැවින් ඉදිරි දෙක තුන ඇතුළත ෂේන් වෝන් මහතාගේ බිරිය ඇතුළු පවුලේ උදවිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව අමාරුවේ දැමූ ෂේන් වෝන් 1990 දශකයේ ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයක් නොවීය. එහෙත්, 2004 සුනාමි ව්‍යසනයේ දී විපතට පත් ප්‍රදේශවලට ගොස් විශාල පරිත්‍යාග කරමින් ඔහු ශ්‍රී ලංකාවට උපකාර කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වෝන් ශ්‍රී ලංකාවේ සැබෑම මිතුරකු බවට පත්විය.

ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු 708ක් බිඳ හෙළා ගත් වෝන් 2004 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී සිය 500 වැනි කඩුල්ල බිඳ හෙලුවේද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වීම විශේෂත්වයකි.

කෙසේ වුවද මේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත වෝන් – මුරලි කුසලානය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති අතර, එහි වැඩි වාසි ඔස්ට්‍රේලියාව සතුවේ. මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 4ක් හා ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරග 19ක් ජය ලබා ඇති අතර, තරග 8ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. 1999දී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව 1-0කින් හා 2016 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0කින් තරග ජයග්‍රහණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති සෑම තරගාවලියකදීම ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය දඟ පන්දුවට උචිත ලෙස හැසිරෙන හෙයින් දෙපිලම එයට සාර්ථකව මුහුණදීම උදෙසා සැලසුම් සකස් කරමින් සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූවේ අද තරගයට දඟ පන්දු යවන්නන් තිදෙනකු හා එක් වේග පන්දු යවන්නකු යොදා ගැනීමට අපේක්ෂා කරන බවය. දඟ පන්දු යවන්නන්ගේ නම් කලින් හෙළි කිරීමට නොහැකි වුවද ලසිත් ඇඹුල්දෙනිය හා ජෙෆ්රි වැන්ඩසේ වැනි පළපුරුදු ක්‍රීඩකයන් තම කණ්ඩායම සතුබව ඔහු ඉඟි පළ කළේය. ඒ අනුව තවමත් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැති වැන්ඩසේට අද දිනයේ ටෙස්ට් වරම් හිමිවීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

මේ හේතුවෙන්ම දඟ පන්දුවට වැඩි ඉඩක් ඇති දුෂ්කර තණතීරුවල මතුවන අභියෝගය භාර ගැනීමට සූදානමින් සිටින බව ඔස්ට්‍රේලියාවේ පළපුරුදු පිතිකරුවකු වන ස්ටීව් ස්මිත් ඊයේ පැවැසීය. තම පිතිකරණයේ හොඳම දස්කම් මතු කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන පීඩනය වැලඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය ඉනිම් 16කදී විශාලතම ශතක නියඟයකට හසුව සිටින ස්මිත් ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේදී හිස එසැවීමේ බලවත් අපේක්ෂාවකින් පසුවේ.‍ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් හා ප්‍රමුඛ දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලියොන් පිළිබඳවද බලාපොරොත්තු තබා ඇත. පා දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන්ට ද ඔහුගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

කාසියේ වාසිය දිනූ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීම සිදුවන අතර, තරගයේ ඉදිරියෙන් සිටීමට පළමු ඉනිමේදී විශාල ලකුණු ගණනක් රැස් කිරීම එම කණ්ඩායමේ මුල්ම උත්සාහය වේ. ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් වැනි ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට විශාල කාර්යභාරයක් පැවරෙන අතර, සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටින ධනංජය ද සිල්වා පෙරැළිකාරී චරිතයකි.

ශ්‍රී ලංකා සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, ඹෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංඛ, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, අතිරේක : දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත රසාංජන

ඔස්ට්‍රේලියා සංචිතය: පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් අගාර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කෙරී, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රෙවීස් හේඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, ඩේවිඩ් වෝනර්, මාර්නස් ලැබුස්චේන්, නේදන් ලියෝන්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මිචෙල් ස්වෙප්සන්. අතිරේක: ජොස් හොලක්ඩ්, මැතිව් කූනේමන්, ටොඩ් මර්ෆි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *