ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5 ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ක්‍රීඩා ලෝලීන් බසයට පැනීමට උත්සාහ කරන අතරතුර තවත් පිරිසක් පොලිස් මෝටර් රථයක් පැහැර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

පාලම මත සිට ක්‍රීඩා ලෝලියෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට පැනීමට යාමේදී බිමට ඇද වැටෙන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව ඇත.

එසේම තවත් තරුණයෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක ශූරතාවය දිනීමේ සතුට සමරන අවස්ථාවේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මියගිය බව ආර්ජන්ටිනා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ පෙළපාලිය ඉක්මනින් අවසාන වීම නිසා කෝප වූ ක්‍රීඩා ලෝලීන් විසුරුවා හරිම සඳහා ආර්ජන්ටිනා කැරලි මර්දන පොලිසිය කැඳවීමට සිදු වූ බව ආර්ජන්ටිනා බලධාරීහු පැවසූහ.

24 හැවිරිදි තරුණයා තම වහලට නැග ප්‍රීති ඝෝෂා නගමින් සතුට සමරා ඇති අතර එහිදී වහලය කඩා වැටීමෙන් අනතුර සිදු ව ඇති බවත් ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම 5 හැවිරිදි දරුවා තම දෙමාපියන් සමඟ උද්‍යානයක සතුට සමරින් සිටියදී ස්මාරකයක තිබූ කිරිගරුඬ කැටයක් ඔලුවට වැටීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් කොමා තත්ත්වයට පත්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ආර්ජන්ටිනා මාධ්‍ය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *