ශ්‍රී ලංකාව තහනම් වීම රටට කැළලක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද පාපන්දු තහනම රටේ ප්‍රශ්නයක් ලෙස සලකා එම තහනම ඉවත් කර ගැනීම පිණිස ජනාධිපතිවරයා ගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් වේලාවක් ඉල්ලා ඇති බවද රටක් වශයෙන් ශ්‍රී ලංකාව තහනම් වීම රටට කැළලක් බව ද ඒ මහතා පැවසීය.

මේ ප්‍රශ්නය මත ජනාධිපතිවරයා හමුවීමට යෑම ක්‍රීඩා ඇමතිවරයා ඉක්මවා යාමක් නොවන බවද රටට ඇති වී තිබෙන මේ අපකීර්තිය මකා ගැනීම සඳහා කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ද වගකීම ක් ලෙස සලකන බවද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කර ගැනීමට රටක් වශයෙන් සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් ඒ සඳහා අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගැනීමේ කටයුතු සඳහා තමන් පෙරමුණ ගෙන කටයුතු කරන බවද හිටපු සභාපතිවරයා පැවසීය.

මෙම ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන් ක්‍රම දෙකක් ඇති බවත් කෙටි කාලීන ක්‍රමය නම් අමාත්‍යංශය මට්ටමෙන් මෙම ප්‍රශ්නයට මැදිහත් වී ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයේ බේරුම්කාර කමිටුවක් හෙවත් අන්තර්කාලීන කමිටුවක් පත්කර කටයුතු ඉදිරියට ගෙන යාමයි.

එය සතියකින් හෝ කළ හැකි කාරණයක් බවත් අනතුරුව එම කමිටුවට ලබා දෙන කාලය අනුව ඉදිරි අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කොන්දේසි මත පත් වන එම කමිටුව කාලයේදී ශ්‍රී ලංකාවට යම් සීමාවක් මත මුදල් ලැබෙන බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට පැනවූ මෙම ජාත්‍යන්තර තහනමට මූලික හේතුව වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත ශ්‍රී ලංකාවෙන් පොරොන්දු වූ පරිදි පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම බව ද, එය සංශෝධනය කරන බව කියමින් දිගින් දිගටම ඊට කල් මැරීම බව ද ඒ මහතා සදහන් කළේය.

එමෙන්ම පසුගිය නිලවරණය පැරණි ව්‍යවස්ථාව යටතේ පැවැත්වීම ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එකඟතාවයට පටහැනිව සිදුවූවක් බව ද එයද ශ්‍රී ලංකාවට එරෙහි තහනමට බලපා ඇති බව ද හිටපු සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ව්‍යවස්ථා සම්පාදනය සහ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සම්මේලනය ශ්‍රී ලංකාවට ලබාදුන් මාර්ග සිතියම උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව කටයුතු කිරීම ද මෙරටට ජාත්‍යන්තර තහනම පැනවීම පිණිස බලපා ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අපේ රටේ පාපන්දු තහනම් කරමින් යොමු කර ඇති ලිපියේ දැක්වෙන බව ද හිටපු සභාපති වරයා සඳහන් කළේ ය.

දිගුකාලීන ක්‍රමය ලෙස ක්‍රීඩා පනත සංශෝධනය කර පාපන්දු වියවස්තාව සහ ක්‍රීඩා පනත ගැටෙන තැන් නිදොස් කර නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීම දැක්විය හැකි බවත් මෙම කාර්යයන් සඳහා අප ගත කරන කාලය අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් මිදීමට ගතවන කාලය තීරණය වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට වසරකට ලැබෙන ඩොලර් මිලියන 2 ක මුදල මේ තහනම හේතුවෙන් අපට අහිමි වී ඇති බවත් ඒ අනුව පාපන්දු සම්මේලනයද ඉදිරියේ දී රටට බරක් වන ආයතනයක් වන බවත් හිටපු සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ජාතික පාපන්දු කණ්ඩායමට ලබන මාර්තු, ජුනි සහ ඔක්තෝම්බර් මාසවල යෙදී තිබූ ජාත්‍යන්තර තරගාවලි අවලංගු වූ බවද ඒ මහතා පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ ද කීය.

ඇත්තටම මේ තහනම හේතුවෙන් අපව ජගත් පාපන්දු පිටියෙන් කොන් කරලා තියෙන්නේ.අපේ විනිසුරුවරුන්ට ජාත්‍යන්තර තරඟ ලැබෙන්නේ නැහැ.පිටරටවල ලීග ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට නැවත ලංකාවට පැමිණෙන්න වෙනවා.ජාත්‍යන්තර පාපන්දු සම්මේනය හෝ ඊට අනුබද්ධිත රටවල් සමග කුමන ආකාඅයේ සම්බන්ධතාවයක්වත් පැවැත්වීමට අපට තහනම්.ඊමේල්,ලිපි හුවමාරු , දුරකථන ඇමතුම් සියල්ල තහනම්.කොටින්ම අපේ පාපන්දු අවුරුදු විස්සක් ආපස්සට ගියා වගේ දැනෙන්නේ.

මේ තහනම ඉවත් කර ගැනීම සඳහා මම කොන්දේසි විරහිතව ඉදිරියට එනවා.මගේ සටන ඊළඟ ඡන්දෙට එන එක නෙවෙයි.මේ කළු පැල්ලමෙන් ශ්‍රී ලංකාව බේරාගන්නා එකයි.මගේ මුළු සේසතම වියදම් කරල හරි මම මේ වෙනුවෙන් කැපවෙනවා.මෙහිදී මට යහළුවො නැති වෙන්න පුළුවන්. ලීග නැතිවෙන්න පුළුවන්.ඒවට සැලෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *