ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවදුරටත් සහාය

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඩෑෂ් හෙවත් Delvon Assistance for Social Harmony (DASH) වෙත බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් 681,812 (ආසන්න වශයෙන් රු. මිලියන 244) ලබා දෙන ලදී.

ඒ අනුව කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ලබන වසරේ ද සිදුකෙරේ.

ඊට අදාල ගිවිසුමකට ශ්‍රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ඩෑෂ් සමාගම එකගතා ගිවිසුමකට එළඹ තිබේ.

එම දෙපාර්ශවය අතර පෙර ඇතිකර ගත් ගිවිසුම්වලට අනුව 2010 වසරේ සිට වර්ග කිලෝමිටර් 15 ක බිම් බෝම්බ ඉවත්කර තිබේ.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වෙසෙන 2,000 කට වැඩි පිරිසකගේ සෘජු හෝ වක්‍ර ජීවනෝපාය වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි බිම්බෝම්බවලින් දූෂිත ප්‍රදේශ ආරක්ෂිත බව සහතික කිරීමේ රජයේ උත්සාහයට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව මීළඟ බිම්බෝම්බවලින් තොර රට බවට පත් කිරීම සඳහා තවත් වසර කිහිපයක් ඇතුළත බිම් බෝම්බ ඉවත් කිරීම අවසන් කිරීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.

ජපානය 2002 වසරේ සිට මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාවට ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වී ඇති අතර, දැනට ශ්‍රී ලංකාවේ පවතින බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකරුවන් හතර දෙනාටම සහාය වන අතර, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 42 කට වැඩි මුදලක් ලබා දී ඇත.

මේ වසරේ ජපානය සහ ශ්‍රී ලංකාව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *