“විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොසන්සුන්තාව තාවකාලික ව සමනය කර ගැනීමට හැකි වුණා ” – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

වර්ෂාවසාන බෝනස් මුදල ගෙවීම සදහා මෙතෙක් අනුමැතිය නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිර්මාණය වූ නොසන්සුන්තාවය යම්තාක් දුරකට සමනය කරගැනීමට හැකි වූ බවත්, විශේෂයෙන් ම කොරියාව ප්‍රමුඛ රටවල විදෙස් රැකියා අපේක්ෂාවෙන් පසුවන පිරිසගේ විදෙස්ගත කිරීමේ කටයුතු අඩාල කළ නොහැකි බැවින් සේවක පිරිසගේ මනා අවබෝධය තුළ තාවකාලික ව තත්ත්වය සමනය කර ගත හැකි වූ බවත්, මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවත් කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අනුරාධපුරයේ දී අද පැවැසීය.

වාර්ෂික බෝනස් මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති වූ සේවක නොසන්සුන්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා එසේ කියා සිටියේ ය.

එහි දී වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“සාමාන්‍යයෙන් ඒ අයට බෝනස් ලැබිය යුතුයි. ඒ ආයතනය ලාබ ලබලා තියෙනවා. වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කරලා තියෙනවා. ලාබ නොලබන රජයෙන් නඩත්තු වන සමහර ආයතනත් දීලා තියෙද්දී අසමාන ලෙස සැලකීම සම්බන්ධයෙන් ඒ අය අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.

හැබැයි දැනට අපට තත්ත්වය යම්තාක් දුරකට සමනය කර ගන්න පුළුවන් වුණා. මේක මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නය විසද ගාන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ රට යන එක නතර වුණොත්, කොරියාවේ වගේ යන්න ඉන්න පිරිසගේ ගිවිසුම් අවලංගු වී රට යන්න තියෙන දේවල් නතර වුණොත්, ඒ ආයතනවල වැඩ නතර වෙලා එතනදි ලොකු හානියන් සහ පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉතා කඩිනමින් මේ සදහා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *