රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ සේවය කිරීමට හැකියාව සොයා බැලීමට කමිටුවක්

රාජ්‍ය නිධාරීන්ට වැටුප් රහිත පෞද්ගලික අංශයේ සේවය කිරීමට වසර 5ක දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් .එම් .පී කේ මායාදුන්නේ මහතා කියා සිටියේය.

එහි වාර්තාව සති දෙකක් ඇතුළත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී අමාත්‍ය මණ්ඩලයේ අනුමතය ලබාගැනීමට නියමිතයි.

මෙම කමිටුවේ සභාපති ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එස්. චන්ද්‍රගුප්තා මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් මංජුල ද සිල්වා මහතා, ලංකා සේවා නියෝජිතයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්( වැ.බ) වජිර ඇල්ලෙපොල මහතා මෙන්ම කළමණාකාර සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු මෙහි ඇතුළත්.

මේ අතර පසුගිදා රාජ්‍ය පරිපාලන නව චක්‍රලේඛ අංක 14/2022 මගින් ද ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානි නොවන පරිදි රාජ්‍ය නිලධාරීන් වැටුප් රහිත වසර 5ක විදේශ නිවාඩු ලබා දීමට රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්. පී. කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *