ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සහ සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ ප්‍රවීණ සහ සම්මානනීය පුවත්පත් ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා ඊයේ(08) අභාවප්‍රාප්ත විය.

ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට 1987 ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී නාවික සෙබලෙක් ගිනිඅවියෙන් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූපය ගැනීමට සමත් වූ එකම ඡායාරූප ශිල්පියා සේන විදානගමගේ මහතාය. එම ඡායාරූපය පසු කළක ලොව වඩාත් සුවිශේෂි ඡායාරූපයක් බවට ද පත්විය.

ඒ මහතාට එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමත් සමඟ ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් සේවයට එකතු වීමට අවස්ථාව ලැබුණි.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම මහතා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සගයින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ යුග පුරුෂයෙකි.

ජාතික ජනමාධ්‍ය මාධ්‍යරූප ශිල්පී සම්මාන උත්සවයේදී 1993 වසරේ ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, ජාතික සන්නිවේදකයින්ගේ සංගමය 1994 වසරේ සංවිධානය කළ සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය 2019 වසරේ සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ඨතම සේවාව සහ කැපවීම අගැයීමදී ජීවිතයේ එක්වරක් පමණක් පුදලබන සුවිශේෂි සම්මානයෙන් ද අගයීමට ලක්වූ විදානගමගේ මහතා වසර 26 වසරක ජනමාධ්‍ය ජීවිතයේදී සම්මාන සහ ඇගයීම් රැසකින් අගයීමට ලක්විය.

එතුමාගේ අවසන් කටයුතු වැලිසර පොදු සුසාන භූමියේදී අද(09) පස්වරු 6.00 ට සිදුකෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *