තවත් අයෝජන කලාප 06ක් ළඟදීම

නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල එම අයෝජන කලාප ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය.

කෘෂිකර්ම අපනයනය මූලික කර ගනිමින් එම අයෝජන කලාප පිහිටුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

“මේ වෙනකොට ත්‍රිකුණාමලය සහ මාන්කුලම්, පරන්තන් සහ කේ.කේ.එස් කියන ප්‍රදේශවලත්, වයඹ පළාතේ ඉරනවිල සහ බිංගිරිය කියන ප්‍රදේශවලත් නව කර්මාන්තපුරයන් ආරම්භ කරන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා මේ වෙනවිට ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සහ මුලික කටයුතු මේ වෙනවිට අපි සකස් කරගෙන යනවා. විශේෂයෙන් අපනයන කෘෂිකර්මාන්තය සඳහා. මහවැලියේ තිබුණු සිස්ටම් ඒ සහ බී කියන සැලසුම් හඳුනාගෙන ඒවා පොළොන්නරුව, අම්පාර ආශ්‍රිතව තියෙන ඒවා හඳුනාගෙන ඒ ඉඩම් අපනයන කෘෂිකර්මාන්ත ඉඩම් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතුත් මේ වෙනවිට සිදුකරමින් යනවා. අපිට තියෙන කලාප තුළ ඉඩකඩ මදි. ඒ නිසා තමයි අලුත් ආයෝජන කලාප අවශ්‍ය වෙලා තියෙන්නේ.”

ඇගලුම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේ අදහස් පළ කළේය.

“ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇනවුම්වල යම් අඩුවක් වෙලා තියෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ ඇනවුම් සපයන ඒ කර්මාන්තශාලාවලට ලැබෙන ඇනවුම්වල ප්‍රමාණය යම් අඩුවක් ඇති වෙලා තියෙනවා. ඒක ලංකාවේ තියෙන තත්ත්වයක් නිසා ඇති වුණ දෙයක් නෙමෙයි. කොවිඩ්වල පසුබලපෑමක් විදියට ඒ රටේ තියෙන ආර්ථිකය යම් ආකාරයකට චලනය වීම මත ලබාදිය හැකි ඇනවුම් යම් ආකාරයකට අඩුවෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ කර්මාන්ත ශාලාවලට ලැබෙන ඇනවුම් අඩුවෙලා සහ නැතිවෙලා තියෙනවා. ඒ වුණත් කිසිම කර්මාන්ත ශාලාවක් වහන්න අවශ්‍ය තත්ත්වයට පත්වෙලා නෑ. එවැනි තත්ත්වයකට පත්වුණොත් ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය සහන දීලා ඒ ආයෝජකයින් දිගටම අපේ රට තුළ පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරන්න අපි සැලසුම් මේ වනවිටත් සකස් කර තියෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *