ජනපති රට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සිංගප්පූරුවේ එක්දින සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර මැයි මස 24 වන දින සිට 27 වන දින දක්වා ඔහු ජපානය තුළ රැඳිසිටීමට නියමිතය.

ජපාන නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ යන අය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ජපාන නිල සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබද 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටලු සහ ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳ කලාපීය නායකයින් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවක් ලෙස මෙම සමුළුව සැලකේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපාන – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක නිරත වූ අතර ඔහුගේ දෙවන ජපාන සංචාරය මෙයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *