හැමෝම කතා කරන ජනපති මැඳුරේ දෙසිය වසරක ඉතිහාස විස්තරේ

ලක්දිව දේශපාලනයට සම්බන්ධ පෞරාණික ගොඩනැඟිලි අතර කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට හිමිවන්නේ සුවි‍ශේෂී ස්ථානයකි. වසර 220කටත් වඩා වැඩි ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම ගොඩනැඟිල්ල එදා මෙදා තුර ඉතිහාසයේ, ලක්දිව පාලනය කළ යටත් විජිත ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු ඇතුළු ප්‍රභූන් රාශියකටම සෙවණ සපයා ඇත.

ගොඩනැඟිල්ලේ ඉතිහාසය

මීට වසර 200කට පමණ පෙර ඉදි කෙරුණු කොළඹ කොටුවේ ජනාධිපති මන්දිර ගොඩනැඟිල්ල එම භූමියේ ඉදිවන්නට පෙර එහි පැවත ඇත්තේ දේවස්ථානයකි. ඒ බවට ඓතිහාසික වාර්තා සහ ඉපැරණි ලිපි ලේඛන සාක්ෂි දරයි. ලක්දිව ඕලන්ද පාලකයන්ට යටත්ව පැවති යුගයේදී එම දේවාස්ථානය ඉදි කර තිබේ. ශාන්ත ෆ්‍රැන්සිස්කන් දේවාස්ථානය නමින් මෙම දේවාස්ථානය හඳුන්වා තිබේ. කෙසේ නමුත් ලන්දේසීන් විසින් මෙම ‍දේවස්ථානය ඉදි කිරීමට ප්‍රථම මෙම භූමිය සුසාන භුමියක් ලෙසද භාවිත කළ බවට සාක්ෂී හමු වී ඇත. ඒ අනුව මෙම බිම්කඩ සුසාන භූමියක් ලෙස භාවිත කර ඇත්තේ පෘතුගීසින් විසින් ලක්දිව පාලනය කරන වකවානුවේදීය. ලක්දිව පෘතුගීසි පාලන සමයෙහි කෝට්ටේ රාජධානිය පාලනය කළ දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ දේහයද මෙම ස්ථානයෙහි ආදාහනය කර ඇති බවට ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි.

කෙසේ නමුත් ලක්දිව අවසන් ලන්දේසි ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන එංගල් බීක් විසින් මෙහි තිබූ දේවස්ථානය ඉවත් කර දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කරවා තිබේ. එංගල් බීක් ආණ්ඩුකාරවරයා, තම නිල නිවාසය ලෙස භාවිත කර ඇත්තේ එම දෙමහල් ගොඩනැඟිල්ලයි. 1796 වසරේදී ඉංග්‍රීසින් විසින් කොළඹ කොටුවෙහි බලය අත්පත් කරගත් පසුවත් එංගල් බීක් ආණ්ඩුකාරවරයා එම නිල නිවස්නය අත්නොහැර කලක් එහි රැඳී සිට ඇත. නමුත් කල්ගත වෙත්ම ඉංග්‍රීසි පරිපාලනය යටතේ එංගල් බීක් ආණ්ඩුකාරවරයාට මෙම දෙමහල් නිවස්නය අත්හැරීමට සිදු විය. පසුව මෙම ගොඩනැඟිල්ල එංගල් බීක් ආණ්ඩුකාරවරයාගේ මිණිබිරිය වූ ජැකොමිනාක් නම් කාන්තාවට හිමි විය. ජැකොමිනාක් පසුකලෙක ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිපාලන සේවයේ සිවිල් නිලධාරියෙක් වූ ජෝජ් මෙල්වින් නමැත්තා සමඟ විවාහ විය. එහිදී එංගල් බීක් විසින් ජැකොමිනාක් හට දායාදයක් ලෙස මෙම ගොඩනැඟිල්ල පවරා දී තිබේ. එය අත්වැරද්දක් නිසා සිදු වූවක් බවටද මතයක් පවතී.

කෙසේ නමුත් මෙම ගොඩනැඟිල්ල 1804 වසරේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය යටතට පවරා ගැනුණි. ජැකොමිනාක් විවාහ වූ ජෝජ් මෙල්වින් නම් සිවිල් නිලධාරිවරයා සිදු කරන ලද මුදල් අක්‍රමිකතාවකට හිලව් වශයෙන් පවුම් 35000ක තක්සේරුවක් යටතේ මෙම ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් පවරා ගත් බව ඓතිහාසික මතයයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලක්දිව ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝත් මහතාගේ නිල නිවාසය වූයේ මෙම දෙමහල් ගොඩනැඟිල්ලයි. නෝත්ගෙන් පසුව ලක්දිව ආණ්ඩුකාර ධුරයට පත් වූ තෝමස් මේට්ලන්ඩ්ද මෙම මන්දිරය සිය නිල නිවස්නය බවට පත් කර ගත්තේය. මේට්ලන්ඩ් විසින් මෙම මන්දිරය කිංග්ස් හවුස් (Kings House) නමින් නම් කර තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී විවිධ අලුත්වැඩියා කටයුතු සහ විවිධ නව ඉදිිකිරීම් නිසා මෙම ගොඩනැඟිල්ලේ පෙනුම සහමුලින්ම වෙනස් වූ බව කියවෙයි. එතුළින් මෙම මුල් ඉදිකිරීමේ වූ ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්ව ගොස් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු වීම සිදු විය. විලියම් හෝර්ටන්, ස්ටුවර් ට් මැකෙන්සි යන ආණ්ඩුකාරවරු යටතේ මෙම ගොඩනැගිල්ල විවිධ වෙනස්කම්වලට සහ අලුත්වැඩියාවන්ට ලක් කෙරුණි.

1837 වසරේ දී එංගලන්තයේ පාලන බලය හිමි වූයේ වික්ටෝරියා රැජිනටයි. එහි බලපෑම ලංකාවේ කිංග්ස් හවුස් නම් වූ මෙම ගොඩනැඟිල්ලටද බලපෑවේය. කිරීටයේ පාලනය රැජිනියක් වෙත හිමි වීම නිසා 1837 වසරේදී කිංග්ස් හවුස් යන්න ක්වින්ස් හවුස් (Queens House) යනුවෙන් වෙනස් විය. වික්ටෝරියා රැජින බලයේ රැඳී සිටි 1901 වසර තෙක්ම ක්වින්ස් හවුස් යන නාමය නෙවෙනස්ව පැවතුණි. 1901 වසරේ එංගලන්තයේ පාලනය ජෝර් ජ් රජතුමාගේ පාලනයට නතු වූ අතර ඉන්පසුව යළිත් ක්වින්ස් හවුස් නාමය, කිංග්ස් හවුස් ලෙස වෙනස් කෙරුණි. අනතුරුව 1972 වසර වන තෙක්ම කිංග්ස් හවුස් නාමයෙන් හැඳින්වුණු මෙම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමෙන් අනතුරුව ජනාධිපති මන්දිරය නමින් හඳුන්වනු ලැබීය. එයට හේතුව වූයේ ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් තම නිල නිවස්නය ලෙස මෙම ගොඩනැඟිල්ල භාවිත කිරීමයි. ඒ අනුව 1972 වසරේ සිට මේ දක්වාම ජනාධිපති මන්දිරය ලෙස මෙම ගොඩනැඟිල්ල හඳුන්වනු ලබයි.

ජනපතිවරුන් රැසකට සෙවණ දුන් රජ ගෙදර

ලක්දිව බ්‍රිිතාන්‍ය පාලන සමයට අයත් චිත්‍ර, මූර්ති, ගෘහ භාණ්ඩ මෙන්ම විවිධ රාජ්‍ය නායකයින් විසින් ප්‍රදානය කළ තෑගි සහ සමරු තිළිණ ආදිය බොහෝමයක්ම මෙහිදී දැකගත හැකියි. ඒවා ඉතාම පෞරාණික සහ අතිශය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි වස්තුන් ලෙස හැඳින්විය හැකිය. ඉන් බොහෝමයක් සියවස් දෙකකටත් වඩා පැරණි කෞතුක සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත වස්තුන් ලෙස සැලකෙයි.

රාජකීය ගෝර්ඩ්න් උද්‍යානය

කොටුවේ ජනාධිපති මන්දිරයට යාබදව ගෝර්ඩ්න් උද්‍යානය දැකගත හැකිය. 1883 වසරේ ලක්දිව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ආතර් ගෝර්ඩන් විසින් මෙම උද්‍යානය ඉදිකරවා තිබෙන්නේ සිය වාස භවන වූ ක්වින්ස් හවුස් මන්දිරයට යාබදව වූ කැලෑබද ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමෙන් පසුවයි. 1887 වසරේදී වික්ටෝරියා රැජිනගේ ස්වර්ණ ජයන්ති උත්සවයට සමගාමිව මෙම උද්‍යානය විවෘත කෙරුණි. අක්කර 4ක පමණ භුමි භාගයක් තුළ පිහිටි මෙම උද්‍යානයෙහි විවිධ විසිතුරු මල් සහිත ශාක, දුර්ලභ ගණයේ වෘක්ෂ මෙන්ම විවිධ ස්මාරක, ප්‍රතිමා ආදියද දැකගත හැකියි. මාර, කිතුල්, හල්මිල්ල, තේක්ක, නුග, කොහොඹ ආදී වටිනා ශාක මෙහිදී දැක ගත හැකිය. පෘතුගීසින් ලංකාවට ගොඩබැසීම සංකේතවත් කරමින් කොළඹ වරාය අසල ගල් කුට්ටියක සිය ලාංඡනය සලකුණු කළ අතර ටොන් 20ක් පමණ බරැති එම ඓතිහාසික ශිලා ස්මාරකය දිගුකාලයක් පුරා මෙහි තැන්පත් කර තිබුණි.1920 වසරේ දී එංගලන්තයේ සිට ගෙන්වන ලද වික්ටෝරියා රැජනගේ ලෝකඩ ප්‍රතිමාවක් මෙහි ස්ථාපිත කෙරුණි. නමුත් අද වන විට පෘතුගීසි සලකුණ සහිත ශිලා ස්මාරකය, කොළඹ වරාය වෙතත් වික්ටෝරියා රැජනගේ පිළිරුව, කොළඹ ජාතික කෞතුකාගාරය ‍වෙතත් රැගෙන ගොස් ස්ථාපිත කර තිබේ.

කොටුව ජනාධිපති මන්දිරය මිල කළ නොහැකි අමිල වටිනාකමක් සහිත පෞරාණික ගෙඩනැඟිල්ලක් බව සඳහන් කළ යුතුය. එදා මෙදා තුර එහි ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් 30 දෙනෙක් පමණ ‍මෙහි වාසය කර තිබේ. ඉන්පසුවද ලක්දිව විවිධ යුගයන්හි ජනාධිපතිවරු ඇතුළු රාජ්‍ය නායකයෝ මෙහි සෙවණ ලැබූහ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන සමයෙහි 2016 වසරේ ජුනි මාසයේ සතියක පමණ කාලයක්, මෙම ජනාධිපති මන්දිරය ජනතාව සඳහා විවෘත විය. එහිදී පාසල් සිසුන් ඇතුළුව දහස් ගණනක් ජනතාව මෙම මන්දිරය නරඹන්නට පැමිණියහ. පසුගියදා රටේ උද්ගත වූ අර්බුදකාරී වාතාවරණය හමුවේද මෙම මන්දිරය ජනතාවට විවෘත විය. එහිදී එහි වූ පෞරාණික වස්තු සහ සිතුවම් ආදියට හානි සිදු වී ඇති අයුරු දැක ගැනීමට හැකි විය. කෙසේ නමුත් ජනාධිපති මන්දිරයේ ඇති පෞරාණික සහ පුරාවිද්‍යාත්මක වස්තුන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම රටෙහි පුරවැසියන් වන අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක් ද වන බව සිහි තබා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *