අපචාර චෝදනා ලැබූ ධනුෂ්ක වෙනුවෙන් ලංකාවේ රජය පෙනී සිටිනවා – කැන්ගරු උසාවියෙන් ඇසුණු ලැජ්ජා සහගත කතා

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය ඊයේ ද (17) නියෝග කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණා.

එසේම ඔහුට තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමි වනවා.

ඇප කොන්දේසිවලට අනුව ධනුෂ්ක ගුණතිලකට සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කරන ලෙස නියෝග කර ඇති අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීමද තහනම් වනවා.

සිඩ්නි හි නැගෙනහිර “රෝස් බේ” හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිඩනි හෝටලයේදී, සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණා.

අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුව ලිංගික අතවර චෝදනා 4ක් ගොනුකරමින් පොලිසීය ඔහුව නොවැම්බර් 7 වනදා ඩවුනින් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා..

කෙසේවෙතත් ධනුෂ්ක ගුණතිලකට අදාළ නීතී කෘත්‍ය, ලිපිගොනු සහ සාක්ෂි සම්බන්ධයෙන් නීතීඥවරුන්ගේ ඉල්ලීම් සිදුකිරීම සඳහා අවස්ථා දෙකකදී යළි කැඳවූනු අතර නඩුවේ කරුණු වාර්තා කිරීමට මාධ්‍යට අවසර ලබාදීම සහ සිඩ්නි දුම්රිය ස්ථානයක සීසීටීවී දර්ශන ධනුෂ්කගේ නීතීඥවරුන්ට ලබාදීම සඳහා අවසර ලබාදීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ ධනුෂ්ක ගුණතිලකට ඇප අයදුම් කිරීමට අදාළව ඔහු වෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ මුරුගන් තංගරාජ් සිදුකළ ඉල්ලීමක් සලකාබැලීම සඳහා නීති කෘත්‍ය යළි අධිකරණය හමුවේ කැඳවා තිබුණා.

එහිදී පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක සිට ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඇප ඉල්ලීමට විරෝධය පොලීසිය පළකරමින් සිඩ්නි පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුව ඇප මත මුදාහැරියහොත් ඔහුව අධිකරණයට ගෙන්වා ගැනීමේ අපහසුතා මතුවිය හැකි අතරම පැමිණිලිකාරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවදානමක් මතුවන බවය.

එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන ශ්‍රී ලාංකික නම් දරන නාඳුනන පුද්ගලයින් පැමිණිලිකාරියට හිරිහැර වන අකාරයේ පණිවිඩ එවීම නිසා ඇයගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි අක්‍රීය කිරීමටද සිදුවූ බව සිඩ්නි පොලිසිය අධිකරණයට පැවසුවා,

එමෙන්ම සැකකාර ධනුෂ්ක ගුණතිලකට, පැමිණිලිකාරියගේ ලිපිනය මතක තිබීමට වැඩි ඉඩක් පවතින බවද පොලීසිය සඳහන් කළා.

එහිදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මුරුගල් තංගරාජ් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සිය සේවාදායකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයක සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලැබෙමින් පවතින බැවින් ඔහු සිය ඇප කොන්දේසි කඩ කළහොත් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වන බවයි.

එමෙන්ම සැකකරු ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් වූවානම් පවතින තත්වය හමුවේ ඔහුට අනිවාර්යෙන්ම ඇප හිමිවන බවද නීතීඥ තංගරාජා අධිකරණයට පෙන්වා දුන්ණා,

එමෙන්ම තම සේවාදායකයා, කිසිදු ප්‍රචණ්ඩ හැසිරීමක නියළුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතරම පැමිණිලිකාරියගේ කැමැත්ත පිළිබඳ අඩුවක් තිබුණේයැයි පැමිණිලිකාරිය සිදුකරන ප්‍රකාශයද ප්‍රතික්ෂේප කරන බව නීතීඥවරයා අධිකරණයට පැවසීය.

පැමිණිලිකාරියගේ පැමිණිල්ලට අනුව ධනුෂ්ක සිය නිවසට රැගෙන යාමෙන් පසු ගැටලුකාරී තත්වයක් උද්ගතවීමට පෙර මුල් අවස්ථාවේ සිය කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතව ඇති බව සඳහන් වන්නේයැයිද නීතීඥවරයා සඳහන් කළා,

එබැවින් පොලීසිය සිදුකරන පැමිණිල්ලේ නීතී ක්‍රියාවලිය ශක්තිමත් එකක් නොවන බව නීතීඥ මුරුගන් තංගරාජා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඇතැම් පුද්ගලයින් පැමිණිලිකාරියගේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවූඩ යැවීම ධනුෂ්කගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුවී ඇති බැවින් එම කාරණය ධනුෂ්කගේ අරමුණකට අනුව සිදුවූවක් නොවන බවද නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින් එම චෝදනාව ධනුෂ්කට ඇප ලබානොදීමට කිසිසේත්ම අදාළ කරුණක් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පැවසුවා.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය දැඩි ඇප කොන්දේසි පනවමින් සැකකාර ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට නියෝග කළා.

එහෙත් ඔහු සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කළ යුතු අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීමද තහනම් කර තිබුණා.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම, සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වන අතර නඩුව යළි ජනවාරි 12 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *