අත්‍යවශ්‍ය සේවාවලට IOC ඩීසල් ගන්න රජය සැරසෙයි

අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීමේ අරමුණින් අයි.ඕ.සී. සමාගමෙන් ඩීසල් මෙ.ටො. 7,500ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ. අදාළ ඩීසල් තොගයට ගෙවීම් කටයුතු ද නිම කර ඇති බවත් හෙළි වේ.

රට පුරා සියලු අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලට අද (1) සිට ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බැවින් සමාගමේ ලියාපදිංචි ඉන්ධන බවුසර හිමියන්ට සේවයට වාර්තා කරන ලෙස අයි.ඕ.සී. සමාගම දන්වා ඇත.

මේ අතර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් මඟින් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ලෙස අයි.ඕ.සී. සමාගමෙන් ඉල්ලීමක් රජයෙන් කර නැති වුව ද එම සමාගමේ උපදෙස් පරිදි තමන් පිරවුම්හල ආශ්‍රිත ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සන්දනායක මහතා දිනමිණට පැවසීය.

අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සාමාන්‍ය පාරිභෝගිකයන්ට ද ටෝකන් පත් පිළිවෙළ අනුව ඉන්ධන සපයන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. මේ වන විට අයි.ඕ.සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ජනතාව දිගු පෝලීම්වල රැඳී සිටිනු දක්නට ලැබෙයි. ඛනිජ තෙල් සංස්ථාව තමන් සතු තෙල් සංචිත අත්‍යවශ්‍ය සේවා වෙත පමණක් දීමට ගත් තීරණයත් සමඟ ජනතාව අයි.ඕ.සී. සමාගමේ තෙල් පිරවුම්හල් වෙත ඇදී ගියහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පුරා අයි.ඕ.සී. පිරවුම්හල් ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක් වන අතර, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල පිරවුම්හල්හි සැතපුම් ගණන් දිගු පෝලිම් නිරීක්ෂණය කළ හැකි විණි.

ඊයේ දිනයේ අයි.ඕ.සී. සමාගම ලීටර 6,600 බැගින් ඉන්ධන හල් 116කට ආසන්න ප්‍රමාණයකට ඉන්ධන දෛනිකව බෙදාහැරීම කළ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *