සෘජු මැදහත් ගුණයෙන් යුතු ගුණ මිනිසා‍ – බුදු බණ නැණ ලොව වෙත දන් දුන් ඇදුරා

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ලෝකය පුරාවට බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ සංවර්ධනය පිණිස ස්වකීය ඥානය මෙහෙය වූ සම්මානිත මහාචාර්ය, සුමනපාල ගල්මංගොඩ වියතානන් ආයු කෙළවරකොට අභාවප්‍රාප්ත වූ වග දැනගත් වහාම බෙහෙවින් සංවේගයට පත්වීමි. බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අනාගත පැවැත්ම අරමුණු කරගනිමින් මාගේ අනුශාසකත්වයෙන් යුතුව ඉදිකරන ලද නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ආරම්භයේ පටන් මෙතුමන් විසින් මා වෙත ලබා දුන් ශක්තිය අපමණය.

වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හංවැල්ල ග්‍රාමයේ මර්ලියානු ගල්මංගොඩ පියාණන්ට සහ පොඩි නෝනා මෑණියන්ට දාව 1951. ජුනි. 08 වන දින උත්පත්තිය ලද ගල්මංගොඩ ඇදුරු තුමන් කුඩාකල කළුගමුව මහා විදුහලෙන් ද බලගල්ලේ සරස්වතී පිරිවෙනෙන් ප්‍රාචීන, ප්‍රාරම්භ,මධ්‍යම විභාග සහ අ.පො.ස (සා/පෙළ) (උ.පෙළ) යන විභාග සියල්ලම උසස් ලෙස සමත්විය. 1975 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාලි පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව උපාධියක් ද, ඊට සමගාමීව රාජකීය පණ්ඩිත උපාධිය ද ලබා ගන්නා ලදි. තවද 2014 දී ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සර්වාංග වෛද්‍යවරයෙක් ලෙස ද කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ගල්මංගොඩ ඇදුරුතුමන් තුළ තිබූ විශයාතික්‍රමණය කළ දැනුම් සම්බාරයයි.

එතුමන් බෞද්ධ අධ්‍යන ක්ෂේත්‍රය මුල් කරගනිමි කළ ශාස්ත්‍රීය සම්ප්‍රදානය තුළ තැබුවේ සුවිශේෂී මෙන්ම නොමැකෙන සලකුණකි. “විභාවිනීටීකා” නම් අභිධර්ම ටීකාව සංස්කරණය කොට ඉදිරිපත් කිරීමෙන් දර්ශනපති උපාධිය දිනාගත් එතුමා “පරමාර්ථ ධර්ම” සංකල්පය පිළිබඳව කරණ ලද පර්යේෂණයෙන් ආචාර්ය උපාධිය සමත්වන ලදි. තව ද ශාස්ත්‍රීය සඟරා ආදියට සපයන ලද නව දැනුමෙන් අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් වූවා පමණක් නොව එහි විෂයාත්මක හරය ද වැඩි වීමට ලක්විය. ඒ සඳහා බලපෑම් කරන ලද්දේ එතුමාගේ තාර්කික ඥාන මහිමයත් නිර්මාණශීලීත්වයත් බව විශේෂයෙන්ම කිව යුතුය.

දැනුමෙන් මෙන්ම පරිපාලනයෙන් ද ඉතා ඉහළ කුසලතාවයක් පෙන්වූ වියතෙකු වන ගල්මංගොඩ වියතුන් දශක හතරක පමණක පමණ දීර්ඝ කාලයක් සිය දැනුම විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වෙත බෙදා දෙමින් මහා ඇඳුරෙක් වූ අතර තර්කානුකූලව සිතීමෙන් බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය වෙත නව දැනුම සම්පාදනය කළ සුවිශිෂ්ට පර්යේෂකයෙකු ද විය. ස්වකීය පර්යේෂණ නිගමනයන් අධ්‍යයන ක්ෂේත්‍රයට මෙන්ම සාමාන්‍ය ජනතාව වෙතද සමීප කරවීම එතුමන්ට පහසු වූයේ සන්නිවේදන මාධ්‍යයයක් ලෙස ලේඛණයත්, භාෂණයත් වියත් ලෙස හැසිරවීමේ හැකියාව දියුණු කරගෙන තිබූ බැවිනි. සිංහල භාෂාව තරමින්ම දක්ෂ ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තිබූ එතුමන් ඉන්දියාව, තායිවානය, තායිලන්තය හා සිංගප්පූරුව වැනි රටවල විද්‍යාර්ථීන් උදෙසා ද බෞද්ධ අධ්‍යයනය විෂයයන් උගන්වන ලද්දේය.

කැලණිය ගුරුකුලය ප්‍රභාවවත් කළ කීර්තිධර විද්වතුන් කිහිපදෙනා අතරෙහි සම්මානිත මහාචාර්ය, සුමනපාල ගල්මංගොඩ ශූරීහු බෞද්ධ අධ්‍යයනයෙහි සුවිශේෂී සලකුණක් සනිටුහන් කරයි. දේශනයෙන්, ලේඛනයෙන් හා සම්භාෂණයෙන් ජනයා ආනන්දයටත් ප්‍රඥාවටත් පත්කළ ගල්මංගොඩ ශූරීහු විද්‍යා හා චරණ දෙයංශයන්ගේම බෞද්ධ අධ්‍යයන ස්පර්ශ කරන්නට සමර්ථ වූහ. පුරා දශක හතරකට ආසන්න කාලයක් සිය පෑන හසුරුවමින්, තර්කානුකූල චින්තනයෙන් හා පරිකල්පනයෙන් ප්‍රතිභානය කොට රචනා කරන ලද ලේඛනාවලිය ඊට කදිම නිදසුනක් වේ. ඒ අතර ‘පඤ්චස්කන්ධ විභාගය හා පාලි බෞද්ධ චින්තාවේ සංවර්ධනය’ (1995) නැමැති ලිපිය මගින් මුල් බුදු සමයාගත ලෝකය හා සත්ත්වයා පිළිබඳ ඉගැන්වීම් සාංචිප්තුව ප්‍රකට කරමින් නිකායාන්තරයන්ය සර්වාස්තිවාදය, සෞත්‍රාන්ත්‍රික, යෝගාචාර හා ථෙරවාදය යන පශ්චාත් කාලීන බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායන්වල බෞද්ධ චින්තනයේ සංවර්ධනයට පංචස්කන්ධ විභාගය කෙතරම් දුරට බලපා ඇත්දැයි විමර්ශනාත්මකව කෙරෙන අධ්‍යයනයකි.

පරිපාලනයේ ද සුවිශේෂී කුසලතාවයක් පෙන්නුම් කළ එතුමා පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂකවරයා මෙන් ම යක්කල පිහිටි දේශීය ආයුර්වේද අධ්‍යයන ආයතනයේ ද අධ්‍යක්ෂකවරයා බවට පත්විය. පරලෝ සැපත්වන තෙක්ම ශාස්ත්‍රීය හා පරිපාලන කටයුතු සඳහා මැලි නොවී කටයුතු කරමින් මේ වන තෙක්ම අප බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස සුවිශාල මෙහෙවරක් සිදු කරන ලදි.

ගල්මංගොඩ මැතිදුන් ගරු සම්භාවනාවට පාත්‍ර වූ, දේශීය – විදේශීය, ගිහි – පැවිදි ,ලොකු -කුඩා සියල්ලන් වෙත, ගැඹුරු විදග්ද ධර්ම මාතෘකා ඉතා සරල සුගම බස් වහරකින් හා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රමවේද මගින් දැනුම හා දහම සම්ප්‍රේෂණය කළ විද්වතෙකි. විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ට උගන්වපු ගුරුවරයකු ශිෂ්‍යයන්ගේ හදවත්වල ලැගුම් ගන්නේ නම් ඒ ඉතා දුර්ලභ කරුණකි. ගල්මංගොඩ සූරීන් සිසු හදවත් පැහැර ගත්තා සේම ඒ තුළ ලැගුම්ගත් ආචාර්යවරයෙකි. ඒ නිසාම පුන පුනා ගරු සම්භාවනාවට පාත්‍ර වූ වියතෙකි. චරිතායනයට සුදුසු ආකෘතියක් වූ බැවින් හොඳ ගුරුවරයෙකි.

එතුමන්ගේ කැපවීම හා ශක්තිය මා වෙත ලබා දෙන්නට එතුමන් සිතන්නට ඇත්තේ මෙම අධ්‍යයන ක්ෂේත්‍රය පරිහානියට නොයා තවත් දීර්ඝ කාලයක් සුරක්ෂිතව ලෝකයා වෙත ගෙන යා යුතු බවට අදහසක් සිත තුළ තිබීම විය යුතුය. මීට දශකයකට පමණ පෙර සම්මුඛව අප ආයතනය පිළිබඳව කරන ලද කතාබහ මල්ඵල ගැන්වීම උදෙසා එතුමන් කරන ලද මෙහෙවර කොතෙක්ද යන්න ප්‍රමාණ කළ නොහැකිය.

අප ආයතනයේ නිළ ගීතය, ධජය ආදී භෞතික සම්පත් නිර්මාණය කිරීමට සිය නිර්මාණශීලීත්වය නිර්ලෝභීව අප වෙත ප්‍රදානය කළ එතුමා තම වසර ගණනක විශ්ව විද්‍යාල අද්දැකීම් සමගින් අප ආයතනයේ පාඨමාලා හඳුන්වාදීමේ දී ඊට අවශ්‍යය සියළු කටයුතු සිදු කරන ලද්දේ තව පරපුරක් වෙත මෙම අධ්‍යයන ක්ෂේත්‍රය හඳුන්වා දී එහි චිර පැවැත්ම සඳහාමය. ඉන් නොනැවතුණු හෙතෙම අප ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වරයා ලෙස රෝගී වන තෙක් සේවය සපයන ලදි. එතුමන් අප ආයතනය වෙත සපයන ලද සේවය ඇගයීමක් ලෙස එතුමන්ගේ අවසන් කටයුතු සදහා සහභාගී වීමේ අවශ්‍යතාවය තදින් තිබුනද ආයතනයේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කෙරෙන විදේශීය සමුළුවකට සම්බන්ධ වෙමින් මේ දිනවල විදේශගතව සිටින බැවින් ඒ සදහා සහභාගී වීමට නොහැකි වීම පිළිබදව ඇත්තේ සුවිසල් කණගාටුවකි.

නිරතුරුවම අප ආයතනයේ ගුණාත්මක භාවය පිළිබදව සොයා බැලූ එතුමන් සෘජු හා අවංක සේවයක් අප ආයතනය වෙත සිදු කරන ලදි. විෂය ප්‍රාමාණිකයෙක් ලෙස ගොඩනගාගෙන තිබූ නිහතමානී ගුණය හා අල්පේච්ඡ පැවැත්ම එතුමන්ගේ විෂය දැනුම ප්‍රායෝගිකව ස්වකීය දිවි ගමනට අදාළ කරගත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කරණීය මෙත්ත සූත්‍රය තුළ පෙන්වාදෙන, සක්කෝ, උජූ, සුජූ, සුවච, මූදු, අනතිමානි, සන්තුස්සකෝ යන ගුණාංගවලින් අධ්‍යාත්මික ගුණයන් සංවර්ධනය කරගත් ඇදුරුතුමෙකි.

එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.

ආචාර්ය, සාහිත්‍යශූරී, පූජ්‍ය. බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ
උපකුලපති, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය,
මානෙල්වත්ත, බොල්ලෑගල‍
කැළණිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *