මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුදහමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය .

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *